මෙරට වෙළෙඳපොළේ සිමෙන්ති සන්නාම 26ක්

2019 සැප්තැම්බර් දක්වා මෙට්‍රික් ටොන් ලක්ෂ 26ක සිමෙන්ති දේශීයව නිපදවද්දී, මෙට්‍රික් ටොන් ලක්ෂ 38ක සිමෙන්ති ආනයනය කරලා

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නියම කර ඇති මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙඳ සැල් වෙත දඩුවම් පමුණු වන බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ. 

මෙය සමස්ත දිවයිනම ආවරණය වන ආකාරයෙන් සිදු කෙරෙන බවත් අධිකාරිය සඳහන් කර සිටියි.

පසුගිය දෙසැම්බර් 27 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මෙම මිල නියම කිරීම සිදු විය. 

එහිදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමක් සඳහා රුපියල් 1,005ක උපරිම සිල්ලර මිලක් නියම විය. 

එසේම සිමෙන්ති කුඩු ලෙස ආනයනය කොට ශ්‍රී ලංකාවේ ඇසුරුම්ගත කළ සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමක් සඳහා මිල රුපියල් 950ක් විය. 

මීට අමතරව ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ඇසුරුමක් සඳහා මිල රුපියල් 930 ක් ලෙස සඳහන් විය.

මෙහිදී සිමෙන්ති නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් අදාළ සිමෙන්ති වර්ග එහි සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම කිරීම සඳහා ඉදිරිපත් කිරීම සහ වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට නියම වී තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ වෙබ් අඩවියේ සඳහන් ආකාරයට අද වනවිට මෙරට වෙළෙඳ පොළ තුළ විවිධ සිමෙන්ති සන්නාම 26කට ආසන්න සංඛ්‍යාවක් පවතී.

ඒ අතරින් සන්නාම 7ක සිමෙන්ති මෙරට නිෂ්පාදනය කෙරෙන අතර, සන්නාම 19ක සිමෙන්ති – සිමෙන්ති කොට්ට වශයෙන් ආනයනය කර අලෙවි කිරීම හෝ සිමෙන්ති ලෙස ආනයනය කර මෙරටදී ඇසුරුම් කිරීමක් සිදු කරන ඒවා වෙයි.

මේ අතර, මහ බැංකු වාර්තාවලට අනුව 2019 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මෙරට සිමෙන්ති නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 26ක් ලෙස සටහන්ව ඇත. 

එසේම පසුගිය 2019 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරටට ආනයනය කළ සිමෙන්ති ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 38 කි. 

ඒ අනුව වසරේ මුල් මාස 10 තුළදී මෙරට වෙළෙඳ පොළ වෙත සිමෙන්ති සැපයුම මෙට්‍රික් ටොන් ලක්ෂ 64 ඉක්මවා ඇත. 

මෙරටට වැඩිම සාමාන්‍ය පෝර්ට්ලන්ඩ් සිමෙන්ති ප්‍රමාණයක් ආනයනය කරන රාජ්‍යයන් වන්නේ පාකිස්තානය සහ ඉන්දියාවයි.

Visits: 36

Leave a Reply

Your email address will not be published. Required fields are marked *