පිටපිට දෙවැනි දිනයටත් දෛනික ගනුදෙනු 45,000කට වඩා වැඩියෙන් සිදු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාතික සම්බන්ධයෙන් ගනු ලැබූ බලාපොරොත්තු නොවූ තීරණයත් සමගින්ම පසුගිය දින දෙකේදී පැවැති ගැණුම්බරතාවට සාපේක්ෂව අද (අගෝස්තු 19) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගැනුම්බරතාව යම් අඩුවීමක් පෙන්නුම් කළ බව තැරැව්කාර සමාගම් පවසයි.

එසේම ඉදිරියේදී කොටස් වටිනාකම් ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ආයෝජකයන් විසින් පසුගිය කාලසීමාවේදී මිලදී ගත් කොටස් වැඩි ප්‍රමාණයක් ලාභ පිට අලෙවි කිරීම්ද අද දිනයේදී දැකගත හැකිවිය. කෙසේ වෙතත් වටිනා සමාගම් තවදුරටත් ඉහළ අගයන්හිම පැවතුණි.

මේ අතර අද දිනයේදී ඉහළ ප්‍රාග්ධනයක් සහිත සමාගම් තුළ කොටස් වටිනාකම්හි අඩුවීම දර්ශක අගයන් පහළ යාමට හේතුවක් වී තිබේ. කෙසේ වෙතත් අද දිනයේදීද ආයෝජක සහභාගිත්වය ඉතාමත් හොඳ මට්ටමේ තිබුණු බවත් පිටපිට දෙවැනි දිනටත් ගනුදෙනු 45,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වුණු බවත් කොටස් තැරැව්කාර සමාගම් වැඩිදුරටත් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,228.87ත් ඒකක 8,443.03ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,260.08ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 18) දිනයට සාපේක්ෂව ඒකක 82.77ක් එනම් -0.99%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 53ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 126ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+8.26), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+3.25), ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී PLR (+2.11), සියෙරා කේබල්ස් පීඑල්සී SIRA (+1.45), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+1.43), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-19.23), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-17.92), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-16.26), ඇම්බියොන් කැපිටල් පීඑල්සී පීඑල්සී TAP (-5.64), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-4.11යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,047.07ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 18දා) ‍ට සාපේක්ෂව ඒකක 26.35 ක එනම් -0.86%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.46ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 18දා) වාර්තා කළ රුපියල් බිලියන 6.38ට සාපේක්ෂව 14% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.67ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 24.19%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 58.14ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 33.22ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 24.92කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 36.86ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 15.86 කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 12.71ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,812ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 33%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,275 ක සහ රුපියල් මිලියන 833ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 273