ශ්‍රී ලංකන් මිලදී ගන්න හේලීස්, ජෝන්කීල්ස් සහ එයිට්කන් ස්පෙන්ස් සමගින් එකමුතුවක්?

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රජය සතු කොටස් මිලදී ගැනීම සඳහා ඉදිරිපත්ව ඇති සමාගම් අතර සිටින හේලීස් සමාගම ඒ සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම් සමගින් එකමුතුවක් ඇති කරගැනීමේ අදහසකින් පසුවන බව වාර්තා වෙයි.

පසුගියදා පළ වුණු ඩේලිඑෆ්ටී පුවත්පත මගින් මේ පිළිබඳව අනාවරණය කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා ගෝලීය ප්‍රතිචාර දුර්වල මට්ටමක පැවතීමත් සමගින්ම මෙරට සමාගම් මගින් එය මිලදී ගැනීමට අවධානය යොමු කර තිබීම ඊට හේතුව වන්නට ඇතැයි පුවත්පත පවසයි.

හේලීස් සමාගම මෙන්ම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් වෙයි.

ඒ අතරින් හේලීස් සමූහය ධම්මික පෙරේරා මහතාට අයත් වන අතර, ජෝන් කීල්ස් සමූහයේ සභාපතිවරයා වන්නේ ගිහාන් කුරේ මහතා. එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා වන්නේ හැරී ජයවර්ධන මහතාය.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා වන ආයෝජන යෝජනා ඉදිරිපත් කළ මූලික සමාගම් හයෙන් සමාගම් තුනක් ඉදිරි කටයුතු සඳහා තෝරා ගැනීමට කැබිනට් මණ්ඩලය පසුගියදා කටයුතු යොදා තිබේ.

ඒ අනුව මැලේසියාවේ ක්‍රියාත්මක අඩු මිල ගුවන් සේවයක් වන එයාර් ඒෂියා ගුවන් සමාගම අයත් එයාර් ඒෂියා කන්සල්ටිං සමාගම, ශ්‍රී ලංකාවේ හේලීස් පීඑල්සී සමාගම සහ ඉන්දියාවේ ෂෙරිෂා ටෙක්නොලොජීස් ලිමිටඩ් යන සමාගම් තේරී තිබේ.

මේ අතරින් ෂෙරිෂා ටෙක්නොලොජීස් ලිමිටඩ් සමාගම මෙරට ක්‍රියාත්මක තවත් සමාගම් සමූහයක් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම හා එක්ව මෙම මිලදී ගැනීමට සූදානමින් සිටියි. එහිදී කටාරයේ අරමුදලක් ඔවුන් වෙත මූල්‍යමය සහයෝගය දක්වයි. එසේම සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම පසුගියදා මැලේසියාවේ ක්‍රියාත්මක ගුවන් කාර්ගෝ මෙහෙයුම් සිදුකරන සමාගමක් වන MMAG හෝල්ඩිංග්ස් සමාගම හා එකඟතාවකටද පිවිසියේය.

පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉදිරිපත් වූ මෙම ආයෝජන යෝජනා යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කළ අනෙකුත් සමාගම් වූයේ FitsAir ගුවන් සමාගම, දර්ෂාන් එලයිට් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සහ ට්‍රෙෂර් රිපබ්ලික් ගාර්ඩියන්ස් ලිමිටඩ් යන සමාගම්ය.

Views: 0