දිරිය මව්වරුන් දිරිමත් කරන “Homerun මව්දිරිය” ඇරඹේ

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවද, නිවස තුළ රැඳෙමින් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් ඕනෑ එපාකම් පිළිබඳ සොයා බලමින්, ආර්ථික ස්වාධීනත්වය ද ළඟා කරගැනීමට උත්සාහ කරන මව්වරුන්ට දිරි දීම සඳහා HOMERUN සමාගම ‘මව් දිරිය’ නමින් වැඩසටහනක් ආරම්භ කළ බව පවසයි.

මෙම වැඩසටහන යටතේ නිවසේ රැඳී කළ හැකි ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ මූල්‍ය පහසුකම් ලබාදීම HOMERUN සමාගමේ බලාපොරොත්තුවයි.

2022 ලෝක බැංකු වාර්තාවට අනුව, ආර්ථික අර්බුදයෙන් පසුව, 311,056 පමණ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇත. මෙය වසර අටක් තුළ ඉහළම විදේශ රැකියා සඳහා සංක්‍රමණය ලෙස හැඳින්විය හැක.

මීට අමතරව, කම්කරු ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණය පිළිබඳ කාර්තුමය නිවේදනයට අනුව සංක්‍රමණික ශ්‍රම බලකායෙන් 40% ක් නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන්ය.

මෙම වාර්තාවට අනුව තවදුරටත් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 63%ක් රැකියාවක් නොමැතිව ගෙදර දොරේ වැඩවල නිරත වන බවයි. එයින් 36%ක් ස්වයං රැකියා සඳහා උනන්දුවක් දක්වන නමුත් අවශ්‍ය ප්‍රාග්ධනය සහ මග පෙන්වීම නොමැති නිසා අධෛර්යට පත්ව ඇත.

ඒ අනුව ආර්ථික ප්‍රශ්න දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවීමට වගබලා ගැනීම සඳහා HOMERUN ‘මව් දිරිය’ සූදානමින් සිටින බව පවසයි.

HOMERUN ‘මව් දිරිය’ වැඩසටහනෙහි අරමුණ වන්නේ ධෛර්යවන්ත මව්වරුන්ට දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන අතරම, නිවසේ ආර්ථික තත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා, රට පුරා සිටින දිරිය මව්වරුන් තෝරා ගැනීම, පුහුණු කිරීම සහ ඔවුන්ට සහාය දැක්වීම සඳහා HOMERUN සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම, මෑතකදී සිදු විය.

එහි ආරම්භක පියවරක් ලෙස, HOMERUN විසින් ඔවුන්ගේ ව්‍යාපාර යෝජනා මත පදනම්ව තෝරාගත් පිරිස් පුහුණු කිරීමට හා ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවක් ලබා දෙනු ලබයි.

එම පළමු කණ්ඩායමට මව්වරුන් 50දෙනෙකු ඇතුළත්වන අතර මූල්‍ය සැලසුම්කරණය, ව්‍යාපාර පිළිබඳ මූලික කරණු, ස්වයං සංවර්ධනය, නිෂ්පාදන ප්‍රවර්ධනය ආදී වැදගත් අංශ කෙරෙහි පුළුල් අවබෝධයක් සහ පුහුණුවක් ලබා දේ.

එම මව්වරුන්ගේ ව්‍යාපාරික යෝජනා සම්බන්ධයෙන් වන ඇගයීමකින් අනතුරුව, එක් ව්‍යාපාරික යෝජනාවක් සඳහා ‘මව් දිරිය’ යටතේ රුපියල් 100,000 දක්වා මූලික ප්‍රාග්ධන මුදලක් ලබා දීම සිදුවේ.

මෙම වැඩසටහන යටතේ 2030 වසර වන විට මව්වරුන් 2,500ක් දිරිමත් කිරීමින් ව්‍යාපාර 2500ක් ආරම්භ කිරීමට සහයගය දීම සඳහා සැලසුම් කර ඇත.

Views: 0