GGGI හවුල්කාරීත්වය සමඟින් කොමර්ෂල් බැංකුව තම හරිත මූල්‍යකරණය ශක්තිමත් කරයි
තිරසාර මූල්‍ය මූලාරම්භයන් පිළිබඳ ප්රමුඛ පෙළ ජාත්‍යන්තර අන්තර් රාජ්‍ය තාක්ෂණික උපදේශකයෙකු වන සෝල් නුවර මූලස්ථාන කරගත් ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute – GGGI) සමඟ කොමර්ෂල් බැංකුව සන්ධිස්ථානාත්මක ගිවිසුමක් අත්සන් කර ඇත.
මෙම ආයතන දෙක විසින් අනුමත කරන ලද අවබෝධතා ගිවිසුම තිරසාර මූල්‍ය සහයෝගීතා වැඩසටහනක් සඳහා වේදිකාව සකසන අතර ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සඳහා හරිත හා නීල ආයෝජන අවස්ථා බලමුලු ගැන්වීමට කොමර්ෂල් බැංකුව සතු සූදානම තියුණු කරයි.
GGGI වෙනුවෙන් එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්රෑන්ක් රිජ්ස්බර්මන් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා අත්සන් තැබීය.
කොමර්ෂල් බැංකුව සහ GGGI අතර මෙම පරිවර්තනීය හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය මුලපිරීම් කඩිනම් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන අතර, ඉදිරි පරම්පරාවන් සඳහා හරිත හා වඩා ඔරොත්තු දෙන ආර්ථිකයක් සඳහා මාවත විවර කරන බව බැංකුව පවසයි.
GGGI යට අනුව, කොමර්ෂල් බැංකුව තේමාත්මක බැඳුම්කර නිකුතුව පිළිබඳ ගවේෂණය තුළින් සිය හරිත කළඔ පුළුල් කිරීම උදෙසා ඇති කැපවීම පෙන්නුම් කරමින් පවතී. මෙම හවුල්කාරීත්වය හරහා බැංකුවට තේමාත්මක බැඳුම්කර රාමුවක් නිර්මාණය කිරීම සඳහා GGGI වෙතින් ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥතාව සහ සහය ලබා ගැනීමට හැකි අතර බැංකුවේ ආයතනික ධාරිතාව ද ශක්තිමත් වනු ඇත.
ශ්‍රී ලංකාවේ හරිත මූල්‍යකරණයට යොමු වූ ප්‍රථම බැංකුවලින් එකක් වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ ජයග්‍රාහකයා ලෙස සම්මාන ලබා ඇත. තවද එහි ණය ලබා දීමේ දී සිදුකළ යුතු අනිවාර්ය සමාජ හා පාරිසරික පිරික්සුම් ක්‍රියාවලිය හේතුවෙන් තිරසාරත්වයේ පුරෝගාමියා බවටද පත්ව තිබේ. කොමර්ෂල් බැංකුව පුනර්ජනනීය බලශක්ති අංශයේ ප්‍රමුඛතම ණය දෙන්නා වන අතර ආයතනික හා සමාජයීය වගකීම් ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නංවා ඇත. කොග්ගල කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, පානම මුහුදු කැස්බෑ සංරක්ෂණ වැඩසටහන, සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර් 100ක විනාශ වූ වාසභූමියේ නැවත වන වගා කිරීම ඒ අතර වේ.
Views: 39