ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය ලොව වඩාත් බලගතු ගමන් බලපත්‍ර අතර ස්ථාන අටක් ඉදිරියට

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය (Passport) ලොව වඩාත් බලගතුම ගුවන් ගමන් බලපත්‍ර ලැයිස්තුගත කෙරෙන දර්ශකය වන Henley Passport Index හි 95 වැනි ස්ථානයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

එම දර්ශකය මගින් 2023 වසරේ තෙවැනි කාර්තුව සඳහා වන අලුත්ම වාර්තාව අද එළිදක්වමින් මේ බව අනාවරණය කර තිබේ.

යම් රටක ගුවන් ගමන් බලපත්‍රය සතු පුද්ගලයෙකුට පෙර වීසා අනුමැතියකින් තොරව ඇතුළු විය හැකි රටවල් සංඛ්‍යාව අනුව එම ගුවන් ගමන් බලපත්‍රය සතු බලවත් බව මැනීම සිදු කරයි. එහිදී ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) දත්ත යොදා ගනිමින් මෙම දර්ශකය සකස් කරයි. මෙහිදී ලොව රටවල් 103ක් සම්බන්දයෙන් දත්ත රැස් කරගෙන තිබේ.

දර්ශකයට අනුව 2023 තෙවැනි කාර්තුව වනවිට ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය වෙත පෙර වීසා අනුමැතියකින් තොරව ලොව රටවල් 41ක් වෙත ඇතුළු වීමේ අවස්ථාව පවතී.

2022 වසරේදී නිකුත් කෙරුණු Henley Passport Index 2022 අනුව ශ්‍රී ලංකාව ලොව බලගතුම ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයේ 103 වැනි ස්ථානයේ පසුවිය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය හරහා පෙර වීසා අනුමැතියකින් තොරව ඇතුළු විය හැකි රටවල් සංඛ්‍යාව 42 ක් විය.

මෙම Henley Passport Index 2023 දර්ශකයට අනුව ලොව වඩාත් බලගතුම ගුවන් ගමන් බලපත්‍රය හිමි රට බවට සිංගප්පූරුව පත්ව තිබේ. ඊට පෙර වීසා අනුමැතියකින් තොරව ළගා විය හැකි රටවල් සංඛ්‍යාව 192කි. එහි දෙවැනි ස්ථාන ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤයට හිමිව තිබේ. ඔස්ට්‍රියාව, ෆින්ලන්තය සහ ප්‍රංශය තෙවැනි ස්ථානයේ පසු වෙයි. පසුගිය වසරේ පළමු ස්ථානයේ පසු වූ ජපානය මෙවර තෙවැනි ස්ථානයට පසු බැස තිබේ.

Views: 152