Eventsඅදහස්තාක්ෂණයපුවත්විදෙස්සමීක්ෂණ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 5ක් සහාය නොදක්වන මොකක්ද මේ ගෝලීය ඩිජිටල් බද්ද?

ලොව ප්‍රමුඛ පෙළේ බහුජාතික ඩිජිටල් තාක්ෂණික සමාගම් මගින් විවිධ රටවලදී උත්පාදනය කරන ආදායම් අනුව බදු අය කරගැනීම සඳහා ගෙන ඒමට සැලසුම් කර තිබූ ගෝලීය ඩිජිටල් බද්ද (Global Digital Tax) වසරකින් ප්‍රමාද කිරිමට ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) ඊයේ (12දා) තීරණය කළ බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ලොව ප්‍රමුඛ පෙළේ බහුජාතික ඩිජිටල් තාක්ෂණික සමාගම් වන ගූගල්, ඇපල්, මෙටා සහ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් වැනි සමාගම් මෙම බද්ද සඳහා ඇතුළත්ව තිබූ සමාගම් වෙයි. මෙහිදී එම සමාගම් වෙතින් සිදු කෙරුණු ඉල්ලීමක ප්‍රතිඵල ලෙස මෙම ඩිජිටල් සේවා බද්දේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි සඳහන් වෙයි.

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) සඳහන් කරන ආකාරයට 2023 දෙසැම්බර් 31 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම බද්ද 2024 දෙසැම්බර් 31 වැනිදා දක්වා කල් දැමී තිබේ.

“මෙම බහුජාතික සමාගම් සිය මූලස්ථානය පිහිටුවා ගෙන ඇති රටවලට පමණක් බදු ගෙවීම වළක්වමින්, එම සමාගම් සිය මෙහෙයුම් සිදු කරන රටවලටත් බදු ගෙවිය යුතු ආකාරයට ගෝලීය ඩිජිටල් බද්ද හඳුන්වාදීම සඳහා වන සූදානම්වීම 2023 දෙසැම්බර් 31 වැනිදා සිට 2024 දෙසැම්බර් 31 වැනිදා දක්වා වසරකින් කල් දැමීමට රටවල් 143 ක් එකඟතාවකට පත්ව තිබෙනවා.”

ඒ අනුව මෙම තීරණයත් සමගින්ම ගෝලීය ඩිජිටල් බද්දේ පළමු අදියර හඳුන්වාදීම වසර 2025 දක්වා කල් දැමී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් මෙය 2025 වසරේදී හඳුන්වාදුන්නද එය ක්‍රියාත්මකවීම වසර 2026 හෝ 2027 දී පමණ සිදුවනු ඇතැයි අදහස වී තිබේ.

මෙම ගෝලීය ඩිජිටල් බද්ද යනු ජාත්‍යන්තර බදු සම්මුතියක් අනුව පිහිටවුණු බදු ක්‍රමයකි. මෙහිදී උදාහරණ ලෙස ගූගල්, ඇපල්, මෙටා සහ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් වැනි බහුජාතික තාක්ෂණික සමාගම් එම සමාගම්වල මූලස්ථානය පිහිටුවා ඇති රටවලදී පමණක් නොව, එම සමාගම් වෙත සැබෑලෙසම යම් අලෙවියක් පවතින රටවලදීද බදු ගෙවීමක් සිදුකළ යුතු බව සඳහන් වෙයි.

මේ පිළිබඳව වන ජාත්‍යන්තර සාකච්ඡාවන් G20 රාජ්‍යයන් සහ OECD හි ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක රාජ්‍යයන් 142කින් සමන්විත ගෝලීය උපදේශනාත්මක කණ්ඩායමක් වන Inclusive Framework (IF) මගින් සිදු කර තිබේ. එහි ප්‍රතිඵල ලෙස 2021 වසරේදී මෙම ගෝලීය ඩිජිටල් බද්ද පිළිබඳ මුලපිරීම සිදුවිය.

විශේෂයෙන්ම මෙම තොරතුරු තාක්ෂණික සමාගම් ලොව අඩු බදු අනුපාතයක් පවතින රටවල සිය ව්‍යාපාරික මෙහෙයුම් ස්ථාපිත කරමින්, බදු ගෙවීම පැහැර හරිමින් වැඩි ලාභ ඉපැයීම වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම ගෝලීය ඩිජිටල් බද්ද හඳුන්වාදීමේ අදහස වී ඇතැයි පැවසෙයි.

මෙම ගෝලීය ඩිජිටල් බද්ද ස්ථම්භ (Pillar) දෙකක් යටතේ ක්‍රියාත්මක වෙයි. එහි පළමු ස්ථම්භය යටතේ මෙවැනි බහුජාතික සමාගම් වෙත එක් රටක බදුකරණයට පමණක් හසුවීම වැළැක්වීමට  ක්‍රියාත්මක වෙයි. එසේම දෙවැනි ස්ථම්භය යටතේ 15෴ක අවම සාංගමික බදු අනුපාතයක් ඇතුළත් වෙයි. එය රටින් රටට වෙනස් වෙයි.

උදාහරණ ලෙස බදු අනුපාතය 15෴කට වඩා අඩුව පවතින රටවල සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදුකරන සමාගම් වෙත එම සමාගමේ මව් සමාගම ස්ථාපිත කර ඇති රටෙහිදී ගෙවන බදු ප්‍රමාණයට වඩා වෙනස් බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙයි. ඒ අනුව ලබන වසරේදී ලොව රටවල් කිහිපයක්ම මෙම ක්‍රමය අනුගමනය කිරිමට සූදානමින් සිටින බවත් සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් මෙලෙස ගෝලීය ඩිජිටල් බද්දක් හඳුන්වාදීම මේ වනවිට ලොව රටවල් අතර යම් මතභේදයක් ඇති කිරීමටත් හේතුවක් වී තිබේ. විශේෂයෙන්ම මෙලෙස එම ගෝලීය ඩිජිටල් බදු ක්‍රියාත්මක කරවීම වසරකින් ප්‍රමාද කරවීමේ අදහස පිටුපස මෙවැනි ප්‍රධාන පෙළේ බහුජාතික තාක්ෂණික සමාගම් රැසකම තිඹිරිගෙය වන එක්සත් ජනපදය සිටින බව අදහස වී තිබේ.

එසේම OECD සංවිධානය සඳහන් කරන ආකාරයට කැනඩාව, රුසියාව, බෙලරුසය, පාකිස්තානය මෙන්ම ශ්‍රී ලංකාවත් මෙම ගෝලීය ඩිජිටල් බද්ද හා සම්බන්ධවීම මේ දක්වා ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් වෙයි. එහිදී ලොව රටවල් තමන්ටම ආවේණික ක්‍රමවේද හඳුන්වා දෙමින් මෙවැනි බහුජාතික සමාගම් වෙතින් ගෝලීය ඩිජිටල් බද්ද හා සමාන බදු අය කරගැනීමක් සිදු කරනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

Views: 121