Plasticcycle සහ The Pearl Protectors “Cleaner Seabeds for Sri Lanka” වෙනුවෙන් අත්වැල් බැඳ ගනී

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සමුද්‍රීය සංරක්ෂණ සංවිධානයක් වන The Pearl Protectors සමග විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම යටතේ දෙපාර්ශ්වය එක් වී ශ්‍රී ලංකාව වටා පිහිටා ඇති සංවේදී සමුද්‍රීය පරිසර පද්ධතිවල සහ ගල්පරවල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ඇත. “Cleaner Seabeds for Sri Lanka” ලෙස එම ගවේෂණාත්මක ව්‍යාපෘතිය නම්කර තිබේ.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් Plasticcycle ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකිරීමේ අරමුණිනි. The Pearl Protectors සමග අත්සන් තැබූ මෙම ගිවිසුම, Plasticcycle හි ඉදිරි ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25% ක්ම වෙරළ තීරය ආසන්නයේ ජීවත් වෙයි. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන‍ය (National Aquatic Research Agency – NARA) විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව, බස්නාහිර පළාතේ සාගර පතුළෙන් 80% ක්ම දූෂිත වී ඇත. මීට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ නිවෙස්වලින් සහ කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය සාගරයට එකතු වීම ය.

මෙම අපද්‍රව්‍ය අතරින් දිය මත පාවෙනුයේ 15% ක් පමණක් වන අතර, ඉතිරිය සාගර පතුළේ තැන්පත් වේ. ලොව පුරා අත් හැර දමන ලද නයිලෝන් දැල් වැනි ධීවර ආම්පන්න අපද්‍රව්‍ය ටොන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සාගරයට එකතු වන බවට ගණන් බලා ඇත.

මෙමගින් ලොව පුරා සාගර ජීවී වර්ග 550 කට අධික ප්‍රමාණයකට බරපතළ හානි සිදුවන බව සොයාගෙන තිබේ. The Pearl Protectors විසින් ශ්‍රී ලංකාවේ සාගර පතුළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කරන ලද්දේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

“අපට Plasticcycle වෙතින් සහයෝගය ලැබුණේ ඉතාමත් වැදගත් අවස්ථාවකදීයි. මේ වනවිට ප්ලාස්ටික් ඇතුළු සමුද්‍රීය අපද්‍රව්‍ය නිසා සාගර පරිසරය බරපතළ ගැටලුවකට මුහුණ පා තිබෙනවා. මේ හවුල්කාරීත්වයත් සමග, ශ්‍රී ලංකාව වටා සංවේදී සමුද්‍රීය පරිසරය හැකිතාක් දුරකට යථා තත්ත්වයට පත්කිරීම අපගේ අරමුණයි.” The Pearl Protectors හි සම්බන්ධීකාරක මුදිත කටුවාවල මහතා පැවසී ය.

මේ වනවිට අපද්‍රව්‍ය කළමනාකරණයේ දුර්වලතා සහ සාගර ප්‍රවාහ වැනි සාධක හේතුවෙන් විශේෂයෙන්ම බස්නාහිර, නැගෙනහිර සහ දකුණ යන පළාත්වල සාගර පතුලේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව එක්රැස් වී තිබේ. ඉදිරි වසරේදී The Pearl Protectors විසින් Plasticcycle හි සහයෝගය ඇතිව මෙම සාගර පතුළ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරනු ඇත. මෙය එම ප්ලාස්ටික් ඉතා කුඩා අංශුවලට බිඳී ගොස් සාගර ජීවීන්ට හානි සිදු කිරීමේ ඉඩකඩ අවම කරන පියවරකි. ලොව පුරා ස්වේච්ඡා කිමිදුම්කරුවන්ට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ සාගරයන්හි ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට The Pearl Protectors සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ ව්‍යාපෘතිය ඔස්සේ, මෙතෙක් ගොඩබිම් ප්‍රදේශවල සිදුකළ පරිසර හිතකාමී ව්‍යාපෘතිවලින් ඔබ්බට යමින් සාගර පරිසරය පිරිසිදු කිරීමේ මෙහෙවරට උරදීමට අපට අවස්ථාව ලැබෙනවා. මෙමගින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදීමට අපට හැකිවනු ඇතැයි කියා මට විශ්වාසයි.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික මූල්‍ය, සමූහ බදු සහ සමාජ ව්‍යවසායකත්ව ප්‍රධානී නිස්රීන් රේමන්ජී මහත්මිය පැවසුවා ය.

Views: 52