මේ වසර මැදදී මෙරට ඉන්ධන ව්‍යාපාර මෙහෙයුම් අරඹන මොකක්ද මේ Sinopec සමාගම?

මෙරට වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ සිල්ලර අලෙවි ව්‍යාපාරය වෙත නව තරගකරුවෙකු ලෙස චීනයේ Sinopec සමාගම ලබන මැයි මාසයෙන් පසුව පිවිසෙනු ඇතැයි රජය පවසයි.

ඒ සඳහා වන එකඟතාවන්ට අත්සන් තැබීම පසුගියදා සිදු වුණු බවත්, මෙම එකඟතාව යටතේ දැනට සිපෙට්කෝ ආයතනය සතුව පවතින ඉන්ධන පිරවුම්හල් සියයකට වැඩි සංඛ්‍යාවක් චීනයේ  Sinopec සමාගම වෙත ලබාදීමට රජය සූදානමින් සිටින බවත් වාර්තා සඳහන් කරයි.

Sinopec සමාගම දැනටමත් මෙරට තුළ සිය මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටින අතර, එහිදී හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ එම සමාගමට අයත් ඉන්ධන ගබඩා පරිශ්‍රයක් ක්‍රියාත්මක වෙයි.

චීනයේ බීජිං නුවර මූලස්ථානය කරගත් China Petroleum and Chemical Corporation හෙවත් Sinopec සමාගම 1998 වසරේදී පිහිටුවූවකි. එතෙක් චීන රජය යටතේ පැවැති චයිනා පෙට්‍රෝලියම් කෝපරේෂන් සමාගමේ පදනම යටතේ එමම නව සමාගම පිහිටුවුණි. විශේෂයෙන්ම චීනයේ පෙට්‍රෝලියම් සහ පෙට්‍රෝෙකමිකල් කර්මාන්තය උපායමාර්ගිකව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් යටතේ මෙම නව සමාගම පිහිටුවීම සිදුව තිබේ. එසේම වසර 10 කට පසුව එනම් 2018වසරේදී එම සමාගම සීමිත වගකීම් සහිත සංස්ථාවක් බවට පත් කෙරිණි.

අද වනවිට එය ලොව විශාලතම පෙට්‍රෝලියම් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ආශ්‍රිත සමූහයක් බවට පත්ව තිබේ. එම සමාගමේ ලියාපදිංචි ප්‍රාග්ධනය යුආන් බිලියන 326.5කි. එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 47ක් පමණ වෙයි.

සමාගමේ ප්‍රධානතම ව්‍යාපාර වන්නේ කාර්මික ආයෝජන සහ ආයෝජන කළමනාකරණය, පෙට්‍රෝලියම් සහ ස්වාභාවික වායු ගවේෂණය, නිෂ්පාදනය, ගබඩාකරගැනීම සහ ප්‍රවාහනය (නල මාර්ග ප්‍රවාහනය), අලෙවිය සහ සුවිශේෂී උපයෝජනය, ගල්අඟුරු නිෂ්පාදනය, අලෙවිය,ගබඩා කරගැනීම සහ ප්‍රවාහනය, බොරතෙල් නිස්සාරණය, ගබඩාකරගැනීම,ප්‍රවාහනය, තොග සහ සිල්ලර බොරතෙල් නිෂ්පාදන අලෙවිය, පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන නිෂ්පාදනය, අලෙවිය, ගබඩාකරගැනීම සහ ප්‍රවාහනය යනාදියයි.

එසේම ගෑස් පාදක රසායනික නිෂ්පාදනය, ගල් අඟුරු රසායනික නිෂ්පාදන සහ වෙනත් රසායනික නිෂ්පාදන සිදු කිරීම, නව බලශක්ති නිෂ්පාදන නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම සහ ප්‍රවාහනය, නව බලශක්ති මෝටර් රථ සහ අනෙකුත් සම්බන්ධිත සේවාවන් සඳහා බැටරි ආරෝපනය සහ හුවමාරු ව්‍යාපාර, පෙට්‍රෝලියම් සහ පෙට්‍රෝකෙමිකල් ඉංජිනේරු ව්‍යාපෘති නිර්මාණය, උපදේශනය, ඉදිකිරීම සහ පිහිටුවීමත් මෙම ව්‍යාපාර වෙත අයත්ය.

මීට අමතරව විදුලි සහ යාන්ත්‍රික උපාංග නිෂ්පාදනය, පර්යේෂණ සහ සංවර්ධන,ඉ-වානිජ, ආනයන අපනයන ව්‍යපාර සහ විදේශීය ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීම මෙන්ම ජාත්‍යන්තර ගබඩාසහ ලොජිස්ටික් සේවාවන්ද Sinopec සමාගම් සමූහය මගින් සිදු කරයි.

2022 වසර වනවිට Sinopec සන්නාමයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 25.165ක් වූ බව සුප්‍රසිද්ධ Brand Finance Global 500 වර්ගීකරණය මගින් සඳහන් කර තිබේ. ඒ අනුව 2022 වසරේදී ලොව සමාගම් අතරින් ඉහළම සන්නාම වටිනාකමක් සහිත 70 වැනි සමාගම ලෙස එය සඳහන්ව තිබේ.

අද වනවිට Sinopec සමාගම චීනයට අමතරව ලොව රටවල් රැසකම සිය ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගෙන යයි. ඒ අතරින් ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව හැර බංග්ලාදේශය, බෘනායි, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්තානය, මකාඕ,මැලේසියාව, මොන්ගෝලියාව, මියන්මාරය,පාකිස්තානය,තායිවානය, තායිලන්තය,පිලිපීනය, ටර්ක්මෙනිස්තානය, උස්බෙකිස්තානය සහ වියෙට්නාමයේ එම සමාගම ව්‍යාපාර පවත්වාගෙන යයි.

Visits: 228