හම්බන්තොට නව ඉන්ධන පිරිපහදුව සඳහා දෙස් විදෙස් සමාගම් 7ක් කැමැත්ත ප්‍රකාශ කරලා

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත නව ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ලොව විවිධ රටවල් කිහිපයකට අයත් සමාගම් 7ක් සිය අභිමතය ප්‍රකාශ කර ඇතැයි (EOI) වාර්තා වෙයි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද පෙරවරුවේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව සඳහන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අභිමතය ප්‍රකාශ කිරී අවස්ථාව ඊයේ දිනයෙන් අවසන් විය.

අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට නයිජීරියාවේ ලාගෝස්හි ලියාපදිංචි Grant & Shearer Ltd. සමාගම, චීනයේ Sinopec සමාගම, මැලේසියාවේ Petrichor Capital Sdn. Bhd සමාගම, සිංගප්පූරුවේ Vitol Group සමාගම, ඉරානයේ Matin Tejarat Co. සමාගම, ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීරයේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක Harree Management Services (Pvt)_ Ltd සමාගම සහ Maraka Invest යන සමාගම සහ ශ්‍රී ලංකාවේ දන්දෙනිය ඉංජිනියරිං සේල්ස් ඇන්ඩ් සර්විස් සින්ඩිකේට් යන සමාගම් මේ අතර පවතී.

ඒ අනුව ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳ තාක්ෂණික විශ්ලේෂණ කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු මගින් එම ලිපි සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කරනු ඇති බවත්, ඉන් අනතුරුව සුදුසු ඉල්ලුම්කරුවන් වෙත අදාළ අවසරය නිකුත් කිරීමක් සිදු කරනු ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියි.

Views: 157