සම්පත් බැංකුව 2022 වසර සඳහා රුපියල් බිලියන 13.1ක බදු පසු ලාභයක් වාර්තා කරයි

2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සම්පත් බැංකුව රුපියල් බිලියන 13.1 බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි පවසයි. මෙම කාලසිමාව සඳහා වන බදු පෙර ලාභය රුපියල් බිලියන 15කි.

ඒ අනුව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව සිය ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හා විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය තුළින් සිය නොසැලෙන ඉදිරි ගමන නැවතත් තහවුරු කිරීම මෙන් පෙන්නුම් කරන බව එම බැංකුව පවසයි.

විශේෂයෙන්ම පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීම හා විදේශ විනිමය හිඟය අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන හා ගෑස් හිඟයක් රට තුළ නිර්මාණය කිරීමට හේතු වූ අතර දෛනික විදුලි කප්පාදුවත්, දැඩි උද්ධමනකාරී ආර්ථික තත්වයත් පුළුල්ව පැතිරුණු මහජන නොසන්සුන්තාවයක් ඇති වුණු බවත් බැංකුව මතක් කර දෙයි.

“අතිශය අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද 2022 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සම්පත් බැංකුව රුපියල් බිලියන 15ක බදු පෙර ලාභයක්ද රුපියල් බිලියන 13.1ක බදු පසු ලාභයක්ද වාර්තා කරන ලදී.” යනුවෙන් බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මෙම වසර තුළදී සම්පත් බැංකුව ඉහළ යන සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) හේතු කොටගෙන 5.6% ක ඉහල ශුද්ධ පොලී ආන්තිකයක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි පවසයි.

එසේම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල (රුපියල් 164.75) අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ විනිමය ආදායම 235%කින් ඉහළ යාමක්ද සිදුව තිබේ.

මීට අමතරව කාඩ්පත් හා වෙළෙඳාම ආශ්‍රිත මෙහෙයුම් මූලික කරගෙන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 69.4% කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් ඇති වූ සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් බැංකුව විසින් ණය ලබා දීම කළමනාකරණය කරනු ලැබීම නිසා ණය සඳහා ලැබිය යුතු පොලී ආදායම අඩු වී තිබේ.

එසේම ඉහල ගිය සේවක වියදම් හා උද්ධමනය හේතුවෙන් මෙහෙයුම් පිරිවැය පෙර වසරට සාපේක්ෂව 35.7% කින් ඉහළ ගොස් ඇත. වැටුප් වැඩිවීම් හේතුවෙන් පසුගිය මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී 2022 වසරේදී සේවක වියදම් 30.9% කින් ඉහල ගොස් තිබේ.

අරමුදල් මත පදනම් වූ ආදායම්

2022 මූල්‍ය වර්ෂය සඳහා සමස්ත මුළු පොලී ආදායම 76.4% කින් වැඩි වූ අතර එය 2021 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 41.7 සිට රුපියල් බිලියන 73.5% ක් දක්වා සැලකිය යුතු ඉහල යාමකි. ඇති වූ සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් බැංකුව විසින් ණය ලබා දීම කළමනාකරණය කරනු ලැබීම නිසා ණය සඳහා ලැබිය යුතු පොලී ආදායම අඩු විය.

මෙයින් ඇති වූ අහිතකර බලපෑම වෙළෙඳපොල පොලී අනුපාතයන් අඛණ්ඩව ඉහල යාම නිසා අවම විය. සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය අඛණ්ඩව ඉහල යාම හේතුවෙන් 2022 වසර පුරාවට ණය හා අත්තිකාරම් කළඹ නිරතුරුව නැවත මිල කිරීම මඟින් ප්‍රතිලාභ ලැබීමට බැංකුව සමත් විය.

එසේම අනපේක්ෂිත පොලී අනුපාත ඉහල යාම හේතුවෙන් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලින් ලැබෙන පොලී ආදායමද ඉහල යන ලදී. තවද ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් ලබා දුන් ණය සඳහා ලැබිය යුතු පොලී අනුපාතයන් ඉහල ගියේය. ඉහත කරුණු හේතුවෙන් 2022 වසර සඳහා පොලී ආදායම රුපියල් බිලියන 158කට ළඟා වූ අතර මෙය පෙර වසර හා සැසඳීමේදී 83.3% ක ඉහල යාමකි.

කෙසේ වෙතත් 2022 වසර අගභාගයේදී භාණ්ඩාගාර බිල්පත් අනුපාතවලට අනුකූලව තැන්පතු සඳහා පොලී අනුපාතයන් ඉහළ නැංවීමට සිදුවීම හේතුවෙන් පොලී වියදමද සාපේක්ෂව ඉහල ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකුව සතු ශ්‍රී ලංකා මුදලින් අගය කරනු ලබන කාලීන තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 158කින් ඉහල ගිය අතර ජංගම හා ඉතුරුම් තැන්පතු අනුපාතය වසර තුලදී රුපියල් බිලියන 111කින් අඩු විය. කෙසේ වෙතත් කාලෝචිත වත්කම් හා වගකීම් කළමනාකරණය හේතුවෙන් ඇති විය හැකිව තිබූ අවදානම අවම කර ගැනීමට බැංකුව සමත් විය.

තවද පොලී වියදම අභිබවා පොලී ආදායම ඉහල යාම නිසා සලකා බලනු ලබන කාල වසර සඳහා ශුද්ධ පොලී ආන්තිකය 5.66% ක් වූ අතර එය 2021 වසරට සාපේක්ෂව පදනම් ලකුණු 205ක ඉහළ යාමකි.

අරමුදල් මත පදනම් නොවූ ආදායම

කාඩ්පත් හා වෙළෙඳාම ආශ්‍රිත මෙහෙයුම් ඉහල යාම හේතුවෙන් 2021 වසරට සාපේක්ෂව මෙම වසර සඳහා මුළු ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 69.4% කින් එනම් රුපියල් බිලියන 11.5 සිට රුපියල් බිලියන 19.4ක් දක්වා ඉහල යන ලදී. මෙහෙයුම් පරිමාව ඉහල යාමත්, ගාස්තුවල සැලකිය යුතු ඉහල යාමත් හේතුවෙන් වෙළෙඳාම් ආශ්‍රිත සේවාවන් ශක්තිමත් හා ස්ථාවර වූ අතර මෙය සලකා බලනු ලබන මූල්‍ය වර්ෂයේ මුළු ගාස්තු හා කොමිස් ආදායමෙන් 42% ක් විය. එසේම පෙර වසර හා සැසඳීමේදී 159% ක වර්ධනයකි. මීට අමතරව කාඩ්පත් ආශ්‍රිත මෙහෙයුම් 67% ක ඉහල වර්ධනයක් පෙන්වූ අතර එය මුළු ශුද්ධ ගාස්තු හා කොමිස් මුදලෙන් 30% ක් විය.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සලකා බලනු ලබන වසර සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 19.7ක් විය. මෙය පසුගිය වසරට සාපේක්ෂව 311% ක වර්ධනයකි. මුළු විදේශ විනිමය ආදායමද 2022 වර්ෂයේදී රුපියල් බිලියන 16.3ක් දක්වා වර්ධනය වූ අතර පෙර වසරේදී එය රුපියල් බිලියන 4.8ක් විය. වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ 2022 වසරේදී බැංකුව විනිමය ආදායම ලෙස රුපියල් බිලියන 18.5ක් වාර්තා කරන ලදී. (2021 රුපියල් බිලියන 4.2) තවද 2022 වසරේදී මුළු වෙළෙඳ ආදායම යටතේ උපලබ්ධි නොවූ රුපියල් බිලියන 2.2ක විනිමය අලාභයක් ද වාර්තා විය (2021 – ආදායම රු.මි 636)

අපහායන අයකිරීම්

සමාලෝචිත කාලපරිච්ඡේදය තුළදී බැංකුව රුපියල් බිලියන 62.7 ක අපහායන අයකිරීමක් වාර්තා කරන ලද අතර එය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 54.3 කින්ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හා ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු මූල්‍ය උපකරණවල ආයෝජනයන් සඳහා වන රුපියල් බිලියන 7.8කින්ද සමන්විතය. මීට අමතරව අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 0.6ක් වූ අපහායන ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී.

ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම්

ගනුදෙනුකරුවන්ගේ වැය කළ හැකි ආදායම අවම වීම, ආර්ථික මූලධර්ම බිඳ වැටීම හේතුවෙන් ව්‍යාපාරික අපේක්ෂාවන් බිඳ වැටීම, බලශක්ති හා ඉන්ධන අර්බුදය, දේශපාලනික අස්ථාවරභාවය, සමාජයීය නොසන්සුන්තාවය යනාදී කරුණු හේතුවෙන් වර්ෂය තුලදී ණය නැවත අය කර ගැනීමේ හැකියාව අඩු වූ අතර හිඟ වාරික ප්‍රමාණයන් ඉහල ගියේය. ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් වාර්තා කරනු ලබන මූල්‍ය වර්ෂය සඳහා බැංකු විසින් ණය හා අත්තිකාරම් වෙනුවෙන් වෙන්කරන ලද ප්‍රතිපාදනයන් ක්‍රමයෙන් ඉහල දමන ලදී.

තනි තනිව සැලකිය හැකි ගනුදෙනුකරුවන් සඳහා අපහායන ප්‍රතිපාදනය (ISL Impairment)

බැංකුව විසින් බාහිර සාර්ව ආර්ථික තත්වයන් හා එක් එක් ගනුදෙනුකරුවන්ගේ මූල්‍යමය ශක්තිමත් භාවය පදනම් කර ගනිමින් සැලකිය යුතු ප්‍රමාණයක ගනුදෙනුකරුවන් තනි තනිව සැලකිය හැකි ගනුදෙනුකරුවන් වශයෙන් ඇගයීමට ලක් කරන ලදී. තවද සංචාරක කර්මාන්තය හා ඒ හා සමානව බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන් සඳහා වෙන් කරනු ලැබූ අපහායන ප්‍රතිපාදනයන්ගේ ප්‍රමාණවත්භාවය තව දුරටත් සමාලෝචනය කරන ලද අතර ඒ සඳහා අමතර ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී. මේ අනුව තනි තනිව සලකනු ලබන ගනුදෙනුකරුවන් සඳහා 2022 වසර වෙනුවෙන් රුපියල් බිලියන 32.7ක අපහායන ප්‍රතිපාදනයක් වෙන් කරන ලද අතර එය 2021 වර්ෂයේදී රුපියල් බිලියන 27.6ක වර්ධනයකි.

සාමූහික පදනම මත අපහායන ප්‍රතිපාදනය (Collective Impairment)

ගනුදෙනුකරුවන්ට මුහුණ පෑමට සිදුවන ආර්ථික පීඩනය සැලකිල්ලට ගනිමින් ණය කළඹ සඳහා භාවිත කරනු ලබන ණය පැහැර හැරීමේ සම්භාවිතාවය පදනම් කරගත් අනුපාතයන් (Probability of default) ක්‍රමයෙන් ඉහල දමන ලදී. නියාමන අධිකාරීන් විසින් ගනුදෙනුකරුවන්ගේ වත්කම් අත්කර ගැනීම හා විකිණීම මත පනවන ලද සීමා කිරීම් හේතුවෙන් පැහැර හරින ලද ණය නැවත අය කර ගැනීම සඳහා බැංකුවට බාධා එල්ල විය. ඒ හේතුකොට ගෙන ණය ගෙවීම් පැහැර හැරීම් මත අලාභ අනුපාතයන්ද (Loss given default) වසර පුරාවට ක්‍රමයෙන් ඉහල දමන ලදී.

ඉහළ ගිය ආර්ථික අවදානම් පිළිබිඹු කිරීම සඳහා බැංකුව විසින් ආර්ථික සාධක ගැලපුම් ක්‍රමවේදය අඛණ්ඩව සමාලෝචනය කරමින් ආර්ථික විචල්‍යයන් සදහා පවතින නවතම දත්ත ග්‍රහණය කරගන්නා ලදී. මීට අමතරව ආර්ථිකය තව දුරටත් පහළ යාම කෙරෙහි පුරෝකථනය කරන ලද සම්භාවිතාමය බර තැබීම් තව දුරටත් ඉහල දමන ලදී. ඉහත කරුණු හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික අභියෝගයන් හා ණය අවදානමට එරෙහිව සැලකිය යුතු අපහායන ප්‍රතිපාදනයක් වෙන් කිරීමට බැංකුව සමත් විය.

2021 වසරේ සැප්තැම්බර් මස හා 2022 ජූනි මස අවසානයේදී සහනදායී ණය යෝජනා ක්‍රමයන්ගෙන් බැහැර වූ ඇතැම් ගනුදෙනුකරුවන් වත්මන් ආර්ථික තත්වයන් හේතුවෙන් තව දුරටත් ණය සහන අයදුම් කිරීම හේතුවෙන් බැංකුව එම ගනුදෙනුකරුවන් සඳහා අඛණ්ඩ අපහායන ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී.

අවදානම් සහගත කර්මාන්ත (Risk elevated industries) හඳුනා ගැනීම තවදුරටත් පුළුල් කරන ලද අතර ඉහල යන උද්ධමනය, පොලී අනුපාතයන් හා බදු අනුපාතයන් අපහායන ප්‍රතිපාදනයන් ඉහල නැංවීමට පාදක වූ අනෙකුත් හේතූන්ය. වැඩි වූ ණය අවදානම සැලකිල්ලට ගනිමින් (කල් ඉකුත් වූ දින පදනම් කරගත් ණය වර්ගීකරණයට අමතරව) බැංකුව සැලකිය යුතු ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් විචක්ෂණශීලීව වසර තුළදී අදියර 2 යටතේ වර්ගීකරණය කරන ලදී. ඒ අනුව 2022 දෙසැම්බර් 31 වන දින වන විට මුළු ණය හා අත්තිකාරම් කළඹෙන් 33.2% ක් අදියර 2 යටතේ වර්ගීකරණය කර ඇත. ( 2021 – 31.1%)

ඉහත කරුණු හේතුවෙන් 2022 මූල්‍ය වර්ෂයේදී ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම් රුපියල් බිලියන 54.3ක් දක්වා ඉහල ගිය අතර එය 2021 වර්ෂයේ වාර්තා වූ රුපියල් බිලියන 12.7 හා සැසඳීමේදී 328% ක ඉහල යාමකි.

අනෙකුත් මූල්‍ය උපකරණ මත වූ අපහායන අයකිරීම්

2022 අප්‍රේල් මසදී ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව නිවේදනය කිරීම හා ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන මඟින් ශ්‍රී ලංකා ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් අගය කරන ලද රජයේ සුරැකුම්පත් සඳහා සැලකිය යුතු අපහායන ප්‍රතිපාදනයක් වෙන් කිරීමට බැංකුව කටයුතු කරන ලදී. 2022 වසරේ දෙසැම්බර් 31 දින වන විට විදේශ ව්‍යවහාර මුදලින් අගය කරන ලද රජයේ සුරැකුම්පත් සඳහා අපහායන අයකිරීම් රුපියල් බිලියන 7. 3ක් වූ අතර සමුච්චිත අපහායන ප්‍රතිපාදන රුපියල් බිලියන 18. 3ක් විය. මේ අතර විදේශ ව්‍යවහාර මුදලින් නම් කරන ලද කල් පිරුණු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) දේශීය මුදලින් අගය කරනු ලබන බැඳුම්කර/බිල්පත් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් ඒ සඳහා වෙන් කරන ලද අපහායන ප්‍රතිපාදන අඩු කිරීමට බැංකුවට හැකි විය. 2022 වසර තුලදී කල් පිරුණු ඇමරිකානු ඩොලර් මිලියන 162 ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, දේශීය මුදලින් අගය කරන ලද බිල්පත් හා බැඳුම්කර බවට පත් කිරීමට සම්පත් බැංකුව කටයුතු කරන ලදී. මීට අමතරව 2023 වසරේදී කල් පිරීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 104ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහාද දේශීය මුදලින් අගය කරන ලද බැඳුම්කර/ බිල්පත් ලබා ගැනීමට බැංකුව අපේක්ෂා කරයි.

මෙහෙයුම් වියදම්

ඉහල ගිය සේවක වියදම් හා උද්ධමනය හේතුවෙන් මෙහෙයුම් පිරිවැය පෙර වසරට සාපේක්ෂව 35.7% කින් ඉහළ යන ලදී. වැටුප් වැඩිවීම් හේතුවෙන් පසුගිය මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී 2022 වසරේදී සේවක වියදම් 30.9% කින් ඉහල ගොස් ඇත. උද්ධමනකාරී තත්වය හා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම නිසා ඇති වූ අධික ආනයන පිරිවැය හේතුවෙන් අනෙකුත් වියදම්ද 50% කින් පමණ ඉහළ ගියේය.

බදු වියදම්

2022 මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ මුළු බදු වියදම රුපියල් බිලියන 7.1ක් වූ අතර මෙය රුපියල් බිලියන 1.9ක් වූ ආදායම් බද්දෙන්ද රුපියල් බිලියන 5ක් වූ එකතු කරන ලද අගය මත බද්දෙන්ද, රුපියල් බිලියන 0.2ක් වූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන්ද සමන්විත විය.

2022 වසරේදී එක් වරක් ගෙවන ලද රුපියල් බිලියන 2.7ක් වූ අධිභාර බදු වියදම ඉහත බදු වියදම තුල ඇතුළත් නොවේ. අධිභාර බද්ද 2020/21 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායමෙන් 25% ක් ලෙස ගණනය කරන ලද අතර මෙය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද අධිභාර බදු සඳහා ගිණුම්කරණ පිළිබඳ විකල්ප ක්‍රමවේද ප්‍රකාශනයේ සඳහන් පරිදි ආරම්භක ස්කන්ධයට එරෙහිව ගලපන ලදී.

මූල්‍ය සේවා අංශය සඳහා එකතු කළ අගය මත බද්ද 2021 මූල්‍ය වර්ෂයේදී වාර්තා කළ රුපියල් බිලියන 3.9ට සාපේක්ෂව 2022 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 1කින් ඉහල ගිය අතර මේ සඳහා මූලික හේතුව වූයේ 2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි බදු අනුපාතය 15% සිට 18% ක් දක්වා ඉහළ යාමයි. තවද 2022 ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී ඇති එකතු කළ අගය මත පනවා ඇති 2.5% ක් වූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා 2022 මූල්‍ය වර්ෂයේදී අතිරේක රුපියල් මිලියන 222ක ප්‍රතිපාදනයක් සිදු කරන ලදී.

2022/2023 තක්සේරු වර්ෂයේ අවසන් මාස 6 තුළදී ආදායම් බදු අනුපාතය 24% සිට 30% දක්වා ඉහල ගියේය. ඉහත වෙනස් වීමත් සමඟ අදායම් බදු වෙනුවෙන් අයකර ගත හැකි ණය අලාභ සඳහා වෙන් කිරීම් ක්‍රමයේ සිදු වූ වෙනස්වීම් සඳහා අවහ්‍ය ගැලපීම්ද සිදු කරන ලදී. විලම්භීත බදු හිමිකම් ද 30% ක් වූ සංශෝධිත බදු අනුපාතයන්ට අනුකූලව හඳුනාගන්නා ලදී. ඒ හා සමානව ගලපන ලදී. බදු ගෙවිය යුතු බදු හිමිකම්/ වගකීම් ද 30% සංශෝධිත බදු අනුපාතය සමඟ හඳුනාගන්නා ලදී.

ප්‍රධාන අනුපාතයන්

සාමාන්‍ය කොටස් හිමියන්ගේ කොටස්වල ප්‍රතිලාභය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා කළ 11.05% ට සාපේක්ෂව 2022 දෙසැම්බර් 31 දින වන විට 10.95% ක් දක්වා අඩු විය. සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර) 2021 වසරේ වාර්තා කළ 1.44%ට සාපේක්ෂව 2022 දෙසැම්බර් 31 දින වන විට 1.16% ලෙස වාර්තා කරන ලදී.

වත්කම් හා වගකීම්

2021 මූල්‍ය වර්ෂය අවසානයේදී රුපියල් ටි්‍රලියන 1.2ක්ව පැවති සම්පත් බැංකුව සතු මුළු වත්කම් ප්‍රමාණය 2022 දෙසැම්බර් 31 දිනය වන විට රුපියල් ටි්‍රලියන 1.3ක් දක්වා එනම් 10.4% කින් වර්ධනය විය. ඉහත වර්ධනය සඳහා මුදල් හා මුදලට සමාන දෑ සහ මුළු ණය හා අත්තිකාරම්වල වර්ධනය ඍජුව දායක විය. තවද ශේෂ පත්‍රයේ ඇති වූ අගය ඉහළ යාම සඳහා ශ්‍රී ලංකා රුපියලේ ඇති වූ අවප්‍රමාණය වීම මූලික වශයෙන් හේතු විය.

මුදල් හා මුදල සමාන දෑ

ඇමරිකානු ඩොලරය සඳහා ඇති ආයෝජන අවස්ථා හිඟවීම හේතුවෙන් විදේශ මුදල් ගිණුම් ශේෂයන් ඉහළ යාම මත මුදල් හා මුදලට සමාන දෑ රුපියල් බිලියන 79කින් ඉහල ගියේය.

ණය කළඹේ වර්ධනය

2021 වසරේ දෙසැම්බර් මස අවසානයට වාර්තා වූ රුපියල් බිලියන 813ක් වූ ණය හා අත්තිකාරම් කළඹ 2022 වසරේ දෙසැම්බර් මස 31 දින වන විට රුපියල් බිලියන 920ක් දක්වා වර්ධනය විය. ශ්‍රී ලංකා මුදලින් අගය කරනු ලබන ණය කළඹ පෙර වර්ෂය අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 717ට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී රුපියල් බිලියන 35කින් එනම් 4.9% කින් වැඩි විය. මීට අමතරව 2022 මාර්තු මස පටන් සිදු වූ ශ්‍රී ලංකා රුපියල් අව ප්‍රමාණය වීම හේතුවෙන් විදේශ මුදලින් අගය කරනු ලබන ණය කළඹ රුපියල් බිලියන 71.6කින් ඉහල යන ලදී. තවද ශ්‍රී ලංකා රුපියල් අවප්‍රමාණය වීම නොසලකා හැරියහොත් ණය හා අත්තිකාරම් කළඹේ වර්ධනය 3.2% ක ආන්තික වැඩිවීමකි. මෙම සුළු වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ බැංකුව විසින් දැඩි විචක්ෂණශීලීව සිය ණය කළඹ කළමනාකරණය කිරීමට ගත් උපාය මාර්ගික ක්‍රමෝපායන්ය.

ආයෝජන

සමස්තයක් ලෙස ගත් කල ණය හා වෙනත් මූල්‍ය උපකරණ වල වෙනස්වීම් 2021 වසරට සාපේක්ෂව සුළු පහල යාමක් වාර්තා කරන ලදී. කෙසේ නමුත් ශ්‍රී ලංකා රුපියල් හා විදේශ ව්‍යවහාර මුදලින් කරන ලද ආයෝජනයන් අතර ප්‍රමාණාත්මක විචල්‍යයක් වර්ෂය තුළදී දක්නට ලැබිණ. මේ සඳහා මූලික හේතුව වූයේ කල්පිරුණු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හුවමාරු කිරීම සඳහා බැංකුව මඟින් ගන්නා ලද තීරණයකි. එම නිසා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මත ආයෝජන වසර තුළදී ප්‍රතිශතයක් ලෙස ගත් කල 33%කින් අඩු විය.

තැන්පතු

සමස්තයක් ලෙස ගත් කල බැංකුව සතු මුළු තැන්පතු ප්‍රමාණය 2022 වසර තුලදී රුපියල් ටි්‍රලියනය පසු කිරීමට හැකි විය. පෙර මූල්‍ය වර්ෂය අවසානයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 978ට සාපේක්ෂව 2022 දෙසැම්බර් 31 දින වන විට 12.76% ක වර්ධනයක් සහිතව මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 1.1ක් විය. කෙසේ වෙතත් මෙම වර්ධනයේ වැඩි ප්‍රමාණයක් විදේශ මුදලින් නම් කරන ලද තැන්පතුවල ප්‍රති අගය කිරීම මත සිදු වූ බව බව සැලකිය යුතුය. මේ අතර අධික පිරිවැයක් සහිත කාලීන තැන්පතු කළඹ බැංකුවේ වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව මඟින් නිසි ලෙස කළමනාකරණය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල් වලින් අගය කරනු ලබන තැන්පතුවල වර්ධනය 4% කට සීමා විය.

ප්‍රාග්ධනය හා ද්‍රවශීලතාවය

2022 වසරේදී ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වා ගැනීමට බැංකුව සමත් වූ අතර අතිරේක ප්‍රාග්ධන එක් රැස් කිරීමත් වසර තුළදී අවශ්‍ය නොවීය. තවද සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහල මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. 2022 දෙසැම්බර් 31 දින වන විට පළමු පෙළ සාමාන්‍යය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය 11.92% ක්ද මුළු ප්‍රාග්ධන අනුපාතය 14.27% ක් ද වූ අතර එය පිළිවෙලින් 8.5% ක් හා 12.5% ක් වූ අවම නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව සාපේක්ෂව ඉහල මට්ටමක් විය. මීට අමතරව 2022 වසරේ දෙසැම්බර් මස වන විට බැංකුවේ තෝලන අනුපාතය 7% ක් වූ අතර එය අවම නියාමන මට්ටම වූ 3% ට වඩා ඉහල මට්ටමක පවත්වා ගැනීමට බැංකුව සමත් විය.

වාර්තා කරනු ලබන වර්ෂය අවසානයේදී ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය අවම නියාමන අවශ්‍යතාවය වන 20% ට අනුරූපීව ඉහල මට්ටමක් වූ 27.85%ක පවත්වා ගන්නා ලදී. එසේම ද්‍රවශීලතා ආවරණ අනුපාතය හා ශුද්ධ ස්ථාවර මූල්‍යන අනුපාතයන් පිළිවෙලින් 146.5%ක් හා 157.1% ක් වූ අවට නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළින් පවත්වා ගැනීමට සම්පත් බැංකුවට හැකි විය.

ණයකර නිකුතුව

බැංකුව විසින් බාසල් iii ප්‍රාග්ධන ප්‍රමිතීන්ට අනුකූලව දෙවන පෙල ලැයිස්තුගත, ශ්‍රේණිගත, ඇප රහිත, ද්විතියික, නිදහස් කළ හැකි, වසර 5කින් කල් පිරෙන (2023/28) එක් ණයකරයක වටිනාකම රු.100ක් වූ රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුත් කරන ලද අතර එය මූලික නිකුතුවේ අධිදායකත්වයකදී විකල්පයක් ලෙස රුපියල් බිලියන 2ක වටිනාකමක් ඇති තවත් ණයකර මිලියන 20ක් ද නිකුත් කිරීමට හා දෙවන නිකුතුවේදී ඇති වන අධිදායකත්වයකදී විකල්පයක් ලෙස රුපියල් බිලියන 3ක වටිනාකමක් ඇති තවත් ණයකර මිලියන 30ක්ද නිකුත් කිරීමට යටත් වේ.

ඉහත ණයකර නිකුතුව පළමු දිනයේදීම සාර්ථක අධිදායකත්වයක් ලබාගත් අතර සම්පත් බැංකුව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු විය. ඒ අනුව මෙම විකල්ප දෙකම ක්‍රියාත්මක කර රුපියල් බිලියන 10ක් වටිනා බාසල් iii ප්‍රාග්ධන ප්‍රමිතීන්ට අනුකූලව දෙවන පෙල ප්‍රාග්ධනයක් 2023 පෙබරවාරි මස 09 වන දින රැස් කර ගැනීමට බැංකුව සමත් විය.

ලාභාංශ

අධ්‍යක්ෂ මණ්ඩලය 2023 මාර්තු 30 වන දින පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව 2022 දෙසැම්බර් මස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 4.60ක ( මුදල් ලාභාංශ රුපියල් 3.45ක් හා කොටස්කර ලාභාංශ 1.15) අවසාන ලාභාංශයක් නිර්දේශ කර ඇත.

2022 වර්ෂය සඳහා මුදල් ලාභාංශ ගෙවීම තීරණය කිරීමේදී සිදු කරන ලද සවිස්තරාත්මක තක්සේරුව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර එය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය සඳහා බැංකුව විසින් යොමු කිරීමට නියමිතය. 2022 වසරේ දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා ලාභාංශ ගෙවීමේ අනුපාතය 40.1% ක් විය. ( 2021 – 39%)

බාහිර ශ්‍රේණිගත කිරීම

ශ්‍රී ලංකා ජාතික ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම හේතුවෙන් ෆිච් රේටින්ග්ස් ලංකා ලිමිටඩ් ආයතනය විසින් සම්පත් බැංකුව ඇතුළු ලාංකේය වාණිජ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම පහත හෙලන ලදී.

ඒ අනුව සම්පත් බැංකුවේ ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම AA-lka/RWN සිට A (lka)/RWN දක්වා පහත හෙලන ලදී. තවද ෆිච් ආයතනය බැංකුව විසින් නිකුත් කරන ලද බාසල් iii ප්‍රාග්ධන ප්‍රමිතීන්ට අනුකූල ණයකර සඳහා BBB + (lka) ශ්‍රේණිගත කිරීම ලබා දෙන ලදී.

Visits: 102