“2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා” – ජනපති

පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම මේ වන විටත් සකස් කරමින් සිටින අතර, වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (06) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට” එක්වෙමිනි.

පරිසර අමාත්‍යාංශය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute -GGGI) විසින් මෙය සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ අද මේ සිදු සිදු කරන්නේ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කටයුත්තට මුල් පියවර තැබීමක්. අඩු ආදායම් හා මධ්‍ය ආදායම් ලබන රටවල් මේ වන විට විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටිනවා. ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට මෙම රටවලට ලැබෙන ආධාර ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසාම මෙම රටවල් සඳහා මීට වඩා තමන්ගේ අරමුදල් යොමු කරන ලෙස මා සංවර්ධනය වූ රටවලින් ඉල්ලා සිටිනවා.

COP 26 සමුළුවේ අභිමතාර්ථයන් මේ වන විට ඉටුවෙලා නැහැ. අපි එම ඉලක්කයන් සපුරා ගැනීමට කැපවීම් කළ යුතුයි. මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු පරිසර අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එක්ව සැලසුම් කරමින් සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මීළග දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ප්‍රථමයෙන් මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔවුන් දෙදෙනා කටයුතු කරනු ඇති බව මම විශ්වාස කරනවා.

14.5% ක් වන ශ්‍රී ලංකාවේ කාබන් ප්‍රතිශතය 2030 වන විට අඩු කර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයක් මේ වන විට ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර තිබෙනවා. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගනු ලබන සෑම තීරණයක්ම මෙම කාර්යාලය මගින් ගැනීමට කටයුතු කරනවා.

පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම අපි මේ වන විටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට හරිත ආර්ථිකයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කර තිබෙනවා.”

අපි පළමුවෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ පනතක් සකස් කිරීමට කටයුතු කරන අතර පැරණි පරිසර පනත ඉවත් කර නව පරිසර පනතක් සකස් කිරීමට පියවර ගන්නවා. එහිදී වන සංහාරය පිළිබඳව මෙන්ම වන ආවරණය පිළිබඳවත් සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙන අතර මෙහි අවසාන පියවර ලෙස ජීවමාන පරිසර පද්ධතිය හඳුනා ගත හැකියි. නකල්ස් , හෝට්න්තැන්න, සිංහරාජ, මහවැලි ගඟ, ආදම්ගෙ පාලම සහ කඳුමුදුන් ආරක්ෂා කිරීමට එය ඉවහල් වෙනවා.

ඒ අනුව ජීව පද්ධතියක් හඳුනාගන්නා පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වෙවි. දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම සඳහා පශ්චාත් උපාධි ආයතනයක් පිහිටුවීමට අපි දැනටමත් සැලසුම් කර තිබෙනවා. කාලගුණ විපර්යාස පිළිබඳව දැන ගැනීම සහ ඒ පිළිබඳ තින්දු තීරණ ගැනීම හා ලෝකය දැනුවත් කිරීම මෙමගින් සිදු කෙරෙනු ඇති.

අපේ නව කර්මාන්ත හා සේවා නව තාක්ෂණය මත පදනම්ව ඉදිරියට ගෙන යාමටත්, කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමටත් එමගින් හරිත ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අපට අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන අතර අපේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම ඉන් ප්‍රධාන අභියෝගයක්. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍යාධාර ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාවේ අඩු බවක් තිබෙන අතර හරිත මූල්‍ය මෙවලම් ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ ණය අඩු කිරීම අපේ සැලසුම වී තිබෙන බවත් කිව යුතුයි.”

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Hits: 34