නිව් ඇන්තනීස් සමූහය ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් ලංකාහි පූර්ණ හිමිකාරිත්වය අත්පත්කරගනී

ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම, ආසියානු කලාපයේ ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාර සමාගමක්වන ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් (ලංකා) සමාගමේ සියලු කොටස් අත්පත් කරගැනීමක් සිදුකළ බව පවසයි.

ඒ අනුව මෙහිදී එම කොටස්හිමිකාරීත්වය පැවැති Aboitiz Equity Ventures Inc (“AEV”) හි අනුබද්ධිත සමාගම් වන Gold Coin Management Holdings Pte Ltd සහ Glen Arbor Holdings (Singapore) Pte Ltd වෙතින් එම  මිලදී මෙලෙස එම සමාගමේ පූර්ණ හිමිකාරීත්වය ලබාගත් බව නිව් ඇන්තනීස් සමූහය පවසයි.

මේ සමඟ ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් (ලංකා) සමාගම, ඇන්තනීස් ෆීඩ්ස් සමාගම (Anthoney’s Feed Ltd) බවට පත්වෙමින් සත්ත්ව ආහාර නිෂ්පාදන අංශයේ පූර්ණ සැපයුම් දාම ශක්‍යතාවකින් හෙබි සමූහයක් බවට නිව් ඇන්තනීස් සමූහය පත්ව තිබේ.

මෙම ව්‍යාපාර මිලදීගැනීමත් සමඟ සිය පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියම පාලනය කිරීමට සහ කළමනාකරණය කිරීමට නිව් ඇන්තනීස් සමූහයට හැකිව ඇතැයි පවසයි. එමගින් පාරිභෝගිකයින් වෙත ලබාදෙන නිෂ්පාදනවල ගුණාත්මකබව වැඩිකිරීමටත්, නිෂ්පාදන කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමටත් අවස්ථාව උදා වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාංශ ආහාර අපනයනකරුවෙකු වන නිව් ඇන්තනීස් සමූහයට මෙම ව්‍යාපාර මිලදීගැනීම මගින් තවදුරටත් අපනයන වර්ධනය කරගනිමින් විදෙස් විනිමය ඉපැයීමට හැකි වේ.

මෙම මිලදී ගැනීමට අදාළ ව්‍යාපාර හිමිකාරීත්ව ගිවිසුම ඉකුත් දෙසැම්බර් මස මැද භාගයේදී සිදුවූ අතර, Nithya Partners ඊට අවශ්‍ය නීතිමය දායකත්වය සැපයීය.  සමින්ද වීරසිංහ (CFA) මිලදී ගැනීමට අදාළ මූල්‍ය උපදේශනය ලබාදුනි. විකිණීමට අදාළ මූල්‍ය උපදේශනයසහ නීති උපදේශනය පිළිවෙළින් TW Corp සහ Julius & Creasy යන සමාගම්වලින් හිමිවිය.

මෙම මිලදීගැනීම අපගේ ව්‍යාපාර ගමන්මඟ තුළ සුවිශේෂී සන්ධිස්ථානයක්. Aboitiz සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය හිමිකරගැනීමත් සමඟ අපගේ ව්‍යාපාරය මහා පරිමාණ වශයෙන් වර්ධනය කරගනිමින් ගෝලීය මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ කීර්තිමත් සන්නාමයක් බවට පත්වීමට අපට හැකිවේවි. එමෙන්ම අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් Aboitiz සමූහයටත්, අපට මූල්‍ය ගනුදෙනුව සඳහා පහසුකම් සලසා දුන් TWCorp  සමාගමටත් මා මේ මොහොතේදී බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා″, යනුවෙන් ඒ පිළිබඳව අදහස් දක්වමින් නිව් ඇන්තනීස් ෆාම්ස්හි සභාපති එමිල් ස්ටැන්ලි මහතා ප්‍රකාශ කළේය.

″මෙය අප හමුවේ ඇති බොහෝ සාධක සලකා බලමින් ගනු ලැබූ ඉතාම කාලෝචිත පියවරක්. මෙම ව්‍යාපාර මිලදී ගැනීමත් සමඟ සත්ත්ව ආහාර සපයා ගැනීමේදී කිසිදු අවහිරතාවකින් තොරව කටයුතු කිරීමටත්, ඒ හරහා දේශීය සහ විදේශීය වශයෙන් අපගේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සපුරාලීමටත් අපට හැකියාව ලැබෙනවා″, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ නීල් සුරවීර මහතා පැවසුවේය.

Views: 113