කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී 1:20ක් බැගින් වූ කොටස් අතුරු බෙදීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (PHAR.N0000) සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතුරු බෙදීමක් සඳහා තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ (31දා) පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කෙරී තිබේ.

ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්දහිමි කොටසක්ම තවත් කොටස් 20ක් ලෙස 1:20 අනුපාතය යටතේ අතුරු බෙදීමක් සිදු කිරීම කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අදහස වී තිබේ.

මේ වනවිට සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 1,272,857කි. මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම එය කොටස් 25,457,140ක් බවට පත්වීමට නියමිතව තිබේ.

එසේම මෙම කොටස් අතුරු බෙදීමේ ප්‍රතිඵලයක් ලෙස සමාගම සතුව දැනට ඇති ප්‍රකාශිත ප්‍රාග්ධනය වන රුපියල් 11,137,505ට කිසිදු වෙනසක් සිදු නොවන බවත් කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීමේ පියවර සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි මෙන්ම සිය කොටස්හිමිකරුවන්ගේද අනුමැතියක් අවශ්‍යව ඇතැයි සමාගම පවසා සිටියි. ඒ අනුව කොටස්හිමිකරුවන් සමගින් ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභා වාරයකදී මෙම අනුමැතිය ලබා ගැනීම අදහස වී තිබේ.

දේපළ වෙළෙඳාමේ නිරත සමාගමක් වන කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මීට පෙර කලම්බු ෆාමසි ලෙසින් හැඳින්වුණි. වර්තමානයේදී කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සුප්‍රසිද්ධ ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් ලෙස පවතී.

2022 මාර්තු 31 වැනිදා වනවිට එම සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 845,159ක් එනම් 66.40%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ සෙලාන් බැංකුව/ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් වෙතයි. එසේම ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත තවත් කොටස් 142,901ක් එනම් 11.23%ක තනි හිමිකාරීත්වයක්ද පවතී.

ඒ අනුව මෙම කොටස් හිමිකාරීත්වයේ එකතුව කොටස් 988,060කි. සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය 1,272,857 ක් වන අතර,ඉතිරි කොටස් 284,797ක් පමණක් කොටස්හිමිකරුවන් 1,107ක් අතර බෙදී ගොස් තිබේ.

2021/2022 මූල්‍ය වර්ෂය අවසන් වනවිට කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 276,195,967.57ක් ලෙස සටහන්ව තිබේ.

Views: 109