ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකන් එක්ව MICE – EXPO 2023 දියත් කරයි

ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව MICE – EXPO 2023 නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කරන බව පවසයි. මේ පිළිබඳ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්විණි.

මෙය MICE (Meetings, Incentives, Conferences & Exhibitions/Events  – රැස්වීම්, දිරිගැන්වීමේ  සංචාර, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන හා ඉසව්) සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ සංචාර ප්‍රවර්ධන ප්‍රදර්ශනයකි.

විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වල රැස්වීම්, සම්මේලන හා ප්‍රදර්ශන සදහා සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රචාරයක් ලබාදීම මෙහි අරමුණයි.

මෙම ප්‍රදර්ශනය 2023 මාර්තු 13 සිට 15 දක්වා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති තිසුම් ජයසූරිය සහ එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත ප්‍රනාන්දු යන මහත්වරු මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ අතර, ශ්‍රී ලංකාව MICE සංචාරක කර්මාන්තයේ තෝතැන්නක් බවට පත්කල හැකි ආකාරය සහ මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ  වැදගත්කම ඔවුහු පෙන්වා දුන්හ.

MICE – EXPO 2023 ප්‍රදර්ශනයට අග්නිදිග ආසියාව, මැද පෙරදිග සහ යුරෝපය යන කලාප නියෝජනය කරමින්, ලොව ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිතායතන ඇතුළු පාර්ශ්ව 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත ය. මෙම ප්‍රදර්ශනය සදහා ගෝලීය   MICE සංචාරක කර්මාන්තයේ ප්‍රධානතම  සැපයුම්කරුවකු වන ඉන්දියාව වැඩි දායකත්වයක් ලබා දෙමින් මේ සදහා සහභාගී වීමට නියමිතය. දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියක් තුල ඉන්දියාවේ ප්‍රධාන ගමනාන්තයන් වෙත ගුවන් ගමන් වාර 75 ට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම තුලින්ද  විශේෂ දායකත්වයක් ලබා දෙයි.

MICE අරමුණු කරගෙන පැමිණෙන සංචාරකයන් සාමාන්‍ය සංචාරකයන්ට වඩා කිහිප ගුණයක් විදේශ විනිමය සදහා දායකත්වය ලබා දෙන අතර එය ලංකාවේ ආර්ථික වර්ධනය සදහා ඉමහත් දායකත්වයක්  ලබා දේ.

“ශ්‍රී ලංකාව MICE සංචාරක කර්මාන්තය සඳහා සුදුසු ගමනාන්තයක් බව ලොවට පෙන්වා දෙමින් රටේ සංචාරක කර්මාන්තය නංවාලීමට MICE – EXPO 2023 ප්‍රදර්ශනය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි කියා මා සිතනවා. එමෙන්ම මෙය දේශීය සේවා සම්පාදකයන්ට සහ අනුග්‍රාහකයන්ට තම සේවා  සහ සැපයුම්  ඉදිරිපත් කිරීම සදහා ලැබෙන මහඟු අවස්ථාවක්. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට අප හා එක්වන මෙන් මා ආරාධනය කර සිටිනවා. මෙමගින් ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රචාරයක් ලබාගනිමින්, නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමට හැකි වේවි. ලොව ප්‍රධානම සංචාරක නියෝජිතායතන මීට සහභාගී වීමට නියමිත නිසා, මෙය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයුම් ඉහළ නංවමින්, විදේශ විනිමය සංචිතයන් මත ඇතිවී තිබෙන පීඩනය ලිහිල් කිරීමට දායක වනු ඇතැයි කියා අප සිතනවා.”  සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

සංචාරක සේවාවන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා ආදිය ලොවට හදුන්වා  දීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇතැයි සංවිධායකවරු විශ්වාස කරති. ස්වභාව සෞන්දර්යය මෙන්ම සංචාරක ක්ෂේත්‍රය ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ට අවශ්‍ය දියුණු යටිතල පහසුකම් ශ්‍රී ලංකාව සතුව පවතින නිසාත්, දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින නිසාත්, ශ්‍රී ලංකාව පිළිබඳව ආයෝජකයන් විශාල උනන්දුවක් දක්වනු නොඅනුමාන ය.

“මෙය ශ්‍රී ලංකාවට ලැබෙන මහඟු අවස්ථාවක් මෙන්ම, හවුල්කාරීත්වයන් තුළින් ඉටුකරගත හැකි දේවල් පිළිබඳ මනා උදාහරණයක්. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳපොළ තුළ ස්ථානගත කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි කියා අප සිතනවා. ලොව පුරා රටවලින් පැමිණෙන MICE සංචාරකයන් පිළිගනිමින් ඔවුන්ට ඉහළම තලයේ සේවාවක් සැලසීමට අප සූදානම්.” ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති තිසුම් ජයසූරිය මහතා පැවසී ය.

ඉදිරියේදී මෙම ප්‍රදර්ශනය යාපනය ඇතුළුව රටේ විවිධ පළාත් වල පැවැත්වීමට මෙන්ම, මෙය වාර්ෂික ඉසව්වක් බවට පත්කිරීම  සංවිධායකයන්ගේ අරමුණයි.  MICE – EXPO 2023  ප්‍රදර්ශන කුටි සහ අනුග්‍රාහකත්ව අවස්ථා වෙන්කරවා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීතුමන් වෙතින් ලබාගත හැක (gmslcb@srilanka.travel).  

Views: 30