කාර්සන්ස් සහ ඇක්විටි සතුව තිබූ Guardian Acuity Asset Management සමාගම CT CLSA වෙත අලෙවි කරයි

කාර්සන්ස් කුම්බර්බැච් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සහ ඇක්විටි පාර්ට්නර්ස් යන සමාගම් සතුව තිබූ ගාර්ඩියන් ඇක්විටි ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් (GAAM) සමාගමෙහි කොටස් හිමිකාරීත්වය සම්පූර්ණයෙන්ම අත්හැරි බව එම සමාගම් පවසයි.

පසුගිය ජනවාරි 13 වැනිදා සිදු වුණු ගනුදෙනුවක් හරහා මෙම කොටස්  අත්හැරීම සිදු කර තිබේ. මෙහිදී එම සමාගම් දෙක අතර පැවැති කොටස් 3,500,000 ක් (50%ක්) බැගින් අලෙවි කර ඇති අතර, එය ගාර්ඩියන් ඇක්විටි ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම (GAAM) මගින් නිකුත් කර ඇති කොටස් අතරින් 100%ක ප්‍රතිශතයක් ගනී.

සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් යවමින් තම සමාගම විසින් අලෙවි කරන ලද මෙම 50%ක කොටස් ප්‍රතිශතය පිළිබඳ අනාවරණය කළේය.

ඒ අනුව රුපියල් 50,762,922.50ක මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබෙන බව සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම පවසයි.

ඉතිරි 50%ක කොටස් ප්‍රතිශතයත හිමි ඇක්විටි පාර්ට්නර්ස් සමාගම ඩීඑෆ්සීසී සහ හැටන් නැෂනල් බැංකුව සතු ඒකාබද්ධ සමාගමකි.  

ඒ අනුව මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 101,525,845 කි.

මෙහිදී එම කොටස් මිලදී ගත් සමාගම වන්නේ මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන සිලෝන් තියටර්ස් හෝල්ඩිංග්ස් (CT Holdings) සමාගමට අයත් ආයෝජන බැංකුකරණ, කොටස් තැරැව්කාර සහ වත්කම් කළමනාකරණ සමාගමක් වන CT CLSA සමාගමයි. එය CT Holdings සහ හොංකොං නුවර මූලස්ථානය කරගත් CLSA සමාගම් දෙකෙහි ඒකාබද්ධ සමාගමකි.

මෙහිදී ඇක්විටි ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් හි කොටසක වටිනාකම අදාළ ගනුදෙනුව සිදුවන අවස්ථාව වන විට පැවැති දළ වත්කම් වටිනාකම් සහ එම සමාගමේ කළමනාකාරිත්වය යටතේ පවතින වත්කම් මූලික කරගනිමින් තීරණය කෙරුණු බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Views: 151