අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ජාතික විද්‍යා පදනම සමග හවුල්කරුවෙක් වෙයි

කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කර ඇති STEM (විද්‍යා, තාක්‍ෂණ, ඉන්ජිනේරු සහ ගණිත) අධ්‍යාපනික වැඩසටහන් තවත් වැඩි දියුණු කිරීම උදෙසා ජාතික විද්‍යා පදනම සමග හවුල්කාරිත්වයකට එළඹ වී ඇත. ශ‍්‍රී ලංකාවේ තෝරාගත් පාසල් වෙත STEM අධ්‍යාපනය ලබා දීම මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වෙයි.

ඩිජිටල්කරණය වූ අධ්‍යාපනික අන්තර්ගතයක් ලබා දීම සඳහා දිවයින පුරා STEM ‘ස්මාර්ට්’ පන්ති කාමර 100ක් පිහිටුවීමට බැංකුව සහාය ලබා දීමෙන් වසරකට පසුව, අධ්‍යාපන අමාත්‍යාංශය සමග සහයෝගයෙන් මෙම පියවර ගෙන ඇත.

කොමර්ෂල් බැංකුව, ජාතික විද්‍යා පදනම සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බැංකුවේ සමාජ සත්කාර භාරය විසින් පාසල් ලැයිස්තුවක් සපයනු ඇති අතර, ඉන්පසුව STEM වැඩසටහන දියත්කිරීමට සහ ප‍්‍රතිඵල තක්සේරු කිරීම් සිදුකිරීමට අවශ්‍ය සැපැයුම් සහාය ලබාදෙනු ඇත.

ජාතික විද්‍යා පදනමේ කාර්යභාරය යටතේ STEM අධ්‍යාපනය ලැබිය යුතු පාසල් නිර්දේශ කිරීම සිදුකරනු ලබන අතර, ජාතික මට්ටමින් බලපෑමක් ඇතිකරන අධ්‍යාපන ව්‍යාපෘති තෝරා ගැනීමට සහ ඇගැයීමටද බැංකුවට සහාය වනු ඇත. ඒ අතරම පුහුණු වැඩසටහන් සැලැසුම් කිරීමට බැංකුවට සහාය වීම සහ ක‍්‍රියාත්මක කිරීමෙන් පසු ප‍්‍රගතිය තක්සේරු කිරීම් ද සිදුකරනු ඇත.

මෙම නවතම STEM අධ්‍යාපන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නන්දික බුද්ධිපාල මහතා මෙසේ ප‍්‍රකාශ කර සිටියේය. ‘බැංකුව STEM අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිය උත්සාහයන් පුළුල් කිරීමට තීරණය කළේ, එය අනාගත රැකියා සඳහා සිසුන් සූදානම් කිරීමට උපකාරී වන බැවිනුයි. නවීන ආර්ථිකයේ වේගයෙන් වර්ධනය වන සහ ඉහළම වැටුප් ලබන රැකියා බොහොමයක්ම ඇත්තේ STEM ක්ෂේත‍්‍රයේ තුළයි. පරිගණක විද්‍යාව, ඉන්ජිනේරු විද්‍යාව සහ දත්ත විශ්ලේෂණය යන විෂයයන් සඳහා සිසුන්ට ශක්තිමත් පදනමක් ලබා දීම අපගේ පරමාර්ථයයි. ශ‍්‍රී ලංකාවේ ඊළග පරම්පරාවට ඉල්ලූමේ පවතින වෘත්තීයයන් සඳහා හොඳින් සන්නද්ධව සිටින බව අපට මෙයින් සහතික කළ හැකියි’.

STEM අධ්‍යාපනය මගින් විවේචනාත්මක චින්තනය සහ ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කිරීමට උපකාරී වෙයි. දත්ත විශ්ලේශනය කිරීම, අත්හදා බැලීම් සැලැසුම් කිරීම සහ සංකීර්ණ ගැටළු විසඳීම සඳහා සිසුන්ට ඉගැන්වීමෙන්,  ඕනෑම ක්ෂේත‍්‍රයේ සාර්ථක වීමට අවශ්‍ය කුසලතාවලින් ඔවුන්ව සන්නද්ධ කිරීමට STEM අධ්‍යාපනය ප‍්‍රයෝජනවත් වෙයි.

අනාගත ව්‍යාපෘතීන් සඳහා සිසුන් සූදානම් කිරීමට සහ විවේචනාත්මක චින්තන කුසලතා පෝෂණය කිරීමට අමතරව, STEM අධ්‍යාපන වැඩසටහන මගින් නවෝත්පාදන ප‍්‍රවර්ධනය කිරීමට සහ රට තුළ ආර්ථික වර්ධනයටද දායක විය හැකි බැව් බැංකුව ප‍්‍රකාශ කරයි.

Views: 43