“විනිමය අනුපාත නම්‍යශීලීභාවයට සහාය වන ආයතනික රාමුව ශක්තිමත් කරනවා” – මුදල් රාජ්‍ය ඇමති

විනිමය අනුපාත නම්‍යශීලීභාවයට මෙන්ම ජාත්‍යන්තර සංචිත සහ නම්‍යශීලී උද්ධමන ඉලක්ක වෙත වැඩි සහායක් ලබා දෙන ලෙස ආයතනික රාමුව ශක්තිමත් කිරීම සිදු කරන බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේම සිංහ මහතා පවසයි.

පසුගියදා පැවති “Voice of the Global South Summit G 20 සමුළුවට” මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම ආර්ථික අර්බුදයේ බලපෑමෙන් දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කෙරෙන බවත් ඔහු පවසා තිබේ.

“මෙම කටයුතුද ඇතුළුව විනිවිදභාවය සහ ආර්ථික ශක්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කෙරෙනවා. මේ හරහා විනිමය අනුපාතික නම්‍යශීලිත්වය වැඩි වනු ඇත.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන්ම මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සාකච්ඡා කරමින් පවතින IMF ඇප ලබා දීමේ ක්‍රියාවලියෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති නමුත් ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමගින් කඩිනමින් ගිවිසුම්වලට එළැඹීමට ප්‍රමාද වීමනිසා එම කටයුතු ප්‍රමාද වී ඇතැයිද ඔහු පවසා තිබේ. “මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වෙමින් පවතින අතර එවැනි තාක්ෂණික ගැටළු සහ ප්‍රතිඵල ප්‍රමාදයන් නිසා රටේ ජන ජීවිතයට විශාල හානියක් ඇති වෙනවා. එබැවින් අන්‍යෝන්‍ය අවබෝධය තුළින් මෙම ක්‍රියාවලියේ අවසන් පියවර ඉක්මනින් සිදු වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.” යනුවෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 52