SMB Leasing PLC සමාගම SMB Finance PLC වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විශේෂිත කල්බදු සමාගමක් වන SMB Leasing PLC සමාගම මින් ඉදිරියට SMB Finance PLC ලෙස නම් වෙනස් කිරීමකට ලක් කරන බව පවසයි.

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම නම් වෙනස් කම ප්‍රකාශයට පත් කර තිබේ.

විශේෂයෙන්ම SMB Leasing PLC සමාගම මගින් ශ්‍රී ලංකාමහ බැංකුවෙහි මුදල් මණ්ඩලය වෙතින් මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය හිමි කරගැනීමට සමත්විමත් සමගින්ම මෙලෙස එම නම් වෙනස් කිරීම සිදු කර තිබේ.

2011 අංක 42 දරණ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් මෙම මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය පිරිනමන අතර, එය මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරන බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ සැලසුම යටතේ සිදුවන්නකි.

මෙහිදී ඊට අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සහකාර අධිපතිවරයෙකු වන ජේ.පී.ආර්. කරුණාරත්න මහතා අතින් SMB Finance PLC හි සභාපති රවී විජේරත්න මහතාට ප්‍රදානය කිරීම මහ බැංකු මූලස්ථානයේදී පසුගියදා සිදුව තිබේ.

මෙම අවස්ථාව සඳහා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යෂිකා චනූරි ජයසිංහ මහත්මිය සහ SMB Finance PLC හි අධ්‍යක්ෂ අනුර චන්ද්‍රසිරි, ප්‍රධාන විධායක නිලධාරී සුපුල් විජේසිංහ යන මහත්වරුන්ද සම්බන්ධ වී තිබේ.

මෙම බලපත්‍රය හිමිකරගැනීමට පෙරාතුව SMB Leasing PLC සමාගම විශේෂිත කල්බදු සමාගමක් ලෙස මහ බැංකුවෙහි ලියාපදිංචිවී තිබුණි. 1992 වසරේදී පිහිටවුණු එම සමාගම මේ වනවිට දශක තුනක කාලයක් මෙරට තුළ මූල්‍ය සේවා සම්පාදනයේ නිරතව සිටියි.

Views: 17