සමාගම් දෙකක සුරැකුම්පත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමෙන් ඉවතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතව තිබූ සමාගම් දෙකක සුරැකුම්පත් එහි නිල ලැයිස්තුවෙන් ඉවත් කිරිමට පියවර ගත් බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

පසුගිය දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබෙන බව එහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන මහතා විසින් සියලුම සාමාජික, ගනුදෙනුකාර සමාගම් වෙතදැනුම් දී තිබේ..

ඒ අනුව LCEM කේතය යටතේ ලැයිස්තුගතව තිබූ ලංකා සිමෙන්ති සමාගම (Lanka Cement PLC) සහ KAPI කේතය යටතේ ලැයිස්තුගතව තිබූ MTD Walkers PLC සමාගමෙහි සුරැකුම්පත් මෙලෙස ලැයිස්තුගතවීමෙන් ඉවත් කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

2001 දෙසැම්බර් 18 වැනිදා නිකුත් කෙරුණු අංක 1215/2 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව 1987 (සංශෝධිත) අංක 36 දරණ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 53 වගන්තිය යටතේ, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් පනවා ඇති රීති 4 (2) මගින් මෙම ඉවත් කිරීම සිදු කළ බව සඳහන් වෙයි.

මේ අතරින් Lanka Cement PLC සමාගමේ කොටස් ගනුදෙනු 2018 අප්‍රේල් මාසයේ 02 වැනිදා සිට අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව පියවර ගෙන තිබුණි. අදාළ කාලසීමාව සඳහා එම සමාගම විසින් වාර්ෂික මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම ඊට හේතුව විය.

එසේම MTD Walkers PLC හි කොටස් ගනුදෙනු අත්හිටුවීම 2019 පෙබරවාරි 17 වැනිදා සිට සිදු විය. එහිදී එම සමාගම සම්බන්ධයෙන් පැවැති ආන්දෝලනාත්මක සිදු වීම් සහ අධිකරණමය කටයුතු හේතුවිය.

Visits: 12