රෝයල් සෙරමික්ස් උප සභාපති සිය කොටස් මිලියන 4ක් විකුණයි, රේණුකා සමූහය මිලියන තුනක් මිලදී ගනී
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමෙහි (RCL.N0000) උප සභාපතිවරයා වන ඒ.එම්. වීරසිංහ මහතා එම සමාගම තුළ තමන් සතුව තිබූ සාමාන්‍ය කොටස් මිලියන 4ක් (4,000,000ක්) අලෙවි කර ඇතැයි පවසයි.
ඊයේ දිනයේදී එම සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. එහි සඳහන් ආකාරයට පසුගිය නොවැම්බර් 18වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ.
මෙහිදී රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී කොටසක් රුපියල් 28ක් බැගින් අලෙවිය සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 112ක් (112,000,000ක්) ලෙස සටහන්ව තිබේ.
වීරසිංහ මහතා රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමෙහි නිර්මාතෘවරයාවන අතර, වර්තමානයේදී එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එසේම 2022 සැප්තැම්බර් 30 වැනිදා වනවිට එම සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 4,331,763ක් එනම් 0.39%ක හිමිකාරීත්වයක්ද ඒ මහතා සතුවිය.
ඒ අනුව පසුගියදා සිදු කළ මෙම කොටස් අලෙවියත් සමගින්ම ඒ මහතා සතුව රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සීහි තුළ ඇති කොටස් හිමිකාරීත්වය කොටස් 331,763ක් දක්වා පහත වැටෙයි.
මේ අතර ඊයේ දිනයේදීම රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම කොටස් හුවමාරුව වෙත නිකුත් කළ තවත් ලිපියකට අනුව, එමසමාගමෙහි කොටස් මිලියන 3ක් මිලදී ගැනීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන නිරුජා තම්බියාහ් මහත්මිය කටයුතු කර ඇතැයි සඳහන් වී තිබේ.
මෙහිදීද කොටසක් රුපියල් 28.00 ක් බැගින් ගනුදෙනුව සිදුව ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 84ක් (84,000,000ක්) වෙයි.
නිරුජා මහත්මිය වර්තමානයේදී රේනුකා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවකද වෙයි. ඒ අනුව මෙහිදී රෝයල් සෙරමික්ස් ලංකාහි කොටස් මිලියන තුන, කොටස් මිලියනය බැගින් මිලදී ගෙන ඇත්තේ එම සමූහයට අයත් රේනුකා හොටේල්ස් පීඑල්සී, රේනුකා ප්‍රොපර්ටීස් සහ රේනුකා කන්සල්ටන්ට්ස් ඇන්ඩ් සර්විසස් පීඑල්සී යන සමාගම් මගිනි.
මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි මේ දක්වා සිදු වූ ගනුදෙනු අතරතුරදී රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී කොටසකවටිනාකම රුපියල් 29.80ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 28.30ට සාපේක්ෂව රුපියල් 1.50ක එනම් 5.30%ක ඉහළ යාමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 392