හිටපු NTB ප්‍රධාන විධායක ප්‍රියන්ත තල්වත්ත සණස සංවර්ධන බැංකු ප්‍රධාන විධායක ධුරයට

සණස සංවර්ධන බැංකුවෙහි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ප්‍රියන්ත තල්වත්ත මහතා පත් කර ඇතැයි එම බැංකුව නිවේදනය කරයි. ඊයේ (නොවැම්බර් 22 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

මෙහිදී තල්වත්ත මහතා බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වන තීරණයට මහ බැංකුවෙහි අනුමැතියද හිමිව ඇතැයිද බැංකුව පවසයි.

මේ අතර මෙම පත්වීම ලබන අවස්ථාව වන විට තල්වත්ත මහතා සතුව සණස සංවර්ධන බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

බැංකු ක්ෂේත්‍රයේ සෑම අංශයකම වසර 30කට අධික කාලයක අත්දැකීම් සහිත ප්‍රියන්ත තල්වත්ත මහතා, මෙම පත්වීම ලැබීමට පෙරාතුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි (NTB) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. 2002 වසරේදී  කළමනාකරුවෙකු ලෙස එම බැංකුව වෙත එක් වූ ඒ මහතා 2020 වසරේදී මෙලෙස එහිප්‍රධාන විධායක නිලධාරියා ලෙස තේරී පත්විය.

ඔහු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සිටි කාලයේදී එම බැංකුවෙහි කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමවේදය වෙත මාරු කිරීමට සමත් වූ අතර, එම කටයුතු සියල්ලම බැංකුව තුළින්ම සපුරා ගැනීමටද ඔහු සමත් විය.

විශේෂයෙන්ම ඒ මහතා සතු වසර 30ක අත්දැකීම් තුළ සාංගමික, සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම සිල්ලර පාරිභෝගිකයන් ඇතුළු සියලුම ක්ෂේත්‍රයන්ගේ බැංකුකරණ සේවාවන් සමන්විත වන බවත් සණස සංවර්ධන බැංකුව පවසයි.

ඒ අනුව ඉදිරියේදී සණස සංවර්ධන බැංකුවත් නව යුගයේ සංවර්ධන බැංකුවක් බවට පරිවර්තනය කිරීමේ කාර්යයේදී වඩා වැඩි කාර්යය භාරයක් ඉටු කිරිමට ප්‍රියන්ත තල්වත්ත මහතා පියවර ගනු ඇතැයිද සණස සංවර්ධන බැංකුව සඳහන් කරයි.  

Visits: 89