මෙරට ආයෝජන සහ සංචාරක ප්‍රවර්ධධනයට ඉන්දියානු විධායක නිලධාරීන්ගේ සංගමය ‘Shine Lanka’ අරඹයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශාල විභවයක් ඇති වෙළඳාම සහ ආයෝජන මෙන්ම සංචාරක ප්‍රවර්ධනය සඳහා ඉන්දියානු විධායක නිලධාරීන්ගේ සංගමය (ICF – Indian CEO’s Forum) විසින් ‘Shine Lanka’ නමින් නව වේදිකාවක් දියත් කර ඇතැයි පවසයි.

පසුගියදා එම විධායක නිළධාරීන්ගේ සංගමයේ (ICF) නියෝජිතයින් පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙමින් මෙම ‘Shine Lanka’ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ. 

ද්විපාර්ශ්වීය වෙළෙඳාම තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ ඉන්දීය තාක්ෂණික දැනුම හඳුන්වා දිය හැකි නව ක්ෂේත්‍ර සඳහා ඉන්දීය ආයෝජන වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ඉන්දියානු විධායක නිළධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්ගේ සභාපති ටී.එස්. ප්‍රකාශ් මහතා, මෝටර් රථ, බැංකු, සිමෙන්ති සහ FMCG සිට ඉන්ධන, වීදුරු, සංචාරක ක්ෂේත්‍රය,, යටිතල පහසුකම්, සැපයුම්, ඇසුරුම්, තීන්ත සහ ඖෂධ දක්වා විවිධ කර්මාන්ත රැසක සාමාජික සමාගම් එහි නියෝජනය කරන බව පවසා සිටියේය.

ඉන්දියානු ආයෝජන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම, පවතින ආර්ථික සහයෝගීතාව ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, මෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති ව්‍යාපාරික නායකයින් සඳහා විවෘත සංසදයක් සැපයීම ICF හි අරමුණ බව ද ඔහු පැවසීය.

එසේම වෙළඳාමේ වර්ධනය සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා යල් පැන ගිය ඇතැම් රෙගුලාසි ලිහිල් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු ආයෝජන ගෙන ඒම, අපනයන ඉපැයීම්, රැකියා උත්පාදනය , සෘජු හා වක්‍ර බදු හරහා භාණ්ඩාගාරයේ දායකත්වය වැඩි කිරීම වැනි ක්‍රම මගින් මෙරට ආර්ථිකයට සහයෝගයක් ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය වරයා ඉන්දීය සමාගම්වලට ස්තුතිය පළ කළේය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සැලසුම් තුළ ශ්‍රී ලංකාව ලබා ඇති මූලික ජයග්‍රහණ පිළිබඳව ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීහු සිය ප්‍රසාදය පළ කර තිබේ. එසේම එම ප්‍රයත්නයන් අඛණ්ඩව පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.

මෙම හමුවට ඉන්දියානු විධායක නිළධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් වන උමේෂ් ගෞතම් (හිටපු සභාපති, ලංකා අශෝක් ලේලන්ඩ්), කිෂෝර් රෙඩ්ඩි (උප සභාපති, ප්ලැටිනම් රියැලිටි), මනෝජ් ගුප්තා (ලංකා අයිඕසී) , අශිෂ් චන්ද්‍ර (භාරතී එයාර්ටෙල්), හරික්‍රිෂ්ණන් සුන්දරම් (කොළඹ බටහිර පර්යන්තය), ගිරීෂ් මන්ජෙෂ්වර් (අල්ට්‍රාටෙක් සිමෙන්ති), අනුරාග් ෂර්මා (Reckitt) යන මහත්වරැන් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද සහභාගී වී තිබේ.

Views: 71