නෙළුම් කුලුණ ආශ්‍රිතව BUNGEE JUMPING ක්‍රීඩාව සඳහා ගිවිසුම් අත්සන් තැබේ

විදේශවල ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන BUNGEE JUMPING ක්‍රීඩාව 2023 ජනවාරි මාසයේ සිට නෙළුම් කුලුණ ආශ්‍රිතව හඳුන්වාදීමට නියමිතව ඇතැයි නෙළුම් කුලුණ පෞද්ගලික සමාගම පවසයි.

මේ සඳහා වන ගිවිසුම් අත්සන් තැබීම සිංගප්පූරුවේ GO BUNGY සමාගම සහ නෙළුම් කුලුණ පෞද්ගලික සමාගම අතර ඊයේ (07) දා සිදු විය.

ඒ අනුව, නෙළුම් කුලුනේ සිට BUNGY JUMPING කිරීමට මෙරට ජනතාවට අවස්ථාව හිමිවන අතර BUNGY සමාගම සහ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුමට අද (07) අත්සන් තැබීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පැහැදිළි කළ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා,ලෝකයේ ඇති කුළුණු අතරින් උස අනුව 19වන ස්ථානය නෙළුම් කුළුණට හිමිවී ඇති බව පවසා සිටියේය.

බන්ජි ජම්පින් ක්‍රිඩාව සඳහා නෙළුම් කුළුණ තෝරා ගැනීම විදේශිය සමාගමට සහ ශ්‍රි ලංකාවට නව අත් දැකීමක් බව පැවසූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා, මෙම ක්‍රිඩාවෙහි නියැලෙන 40,000 ක් 50,000ක් පමණ ලෝකයේ විවිධ රටවල සිටින බවත් එම සාමාජිකයන් සියලුදෙනා ශ්‍රි ලංකාවේ නෙළුම් කුළුණේ මෙම ක්‍රිඩාව ආරම්භ කිරිමට ඉතාම කැමැත්තෙන් සිටින බවද පවසා සිටියේය.

“මේ ගොල්ලන්ගේ 50,000ක් විතර වෙනම ටීම් එකක් ඉන්නවා.. රටවල්වලට ගිහිල්ලා BUNGY JUMPING කරන. මෙතන අලුත් තැනක් නිසා මේ 50,000 ම මෙතනට ගෙන්න තමයි මෙයාලා බලන්නේ. අපේ රටට විදේශිකයින්, සංචාරකයින් ගේන්න ලොකුම අවස්ථාවක් මේක. මීටර 350ක් ඉහළ ඉඳන් පනින්නේ. ඒක වෙනම අත්දැකීමක්. ඒවාට ආස අය ඉන්නවා. ජනවාරි 1 සිට දවසකට පැනුම් වාර 100ක් කරන්න සැලසුම් කරනවා. ඊට අමතරව, රාත්‍රි කාලයේ පැනුම් වාර 30 – 40ක් පමණ..නෙළුම් කුලුන රාත්‍රියේ වර්ණවත් කරාට පස්සේ.” 

මෙම ක්‍රීඩාව සඳහා 100%ක ආයෝජනය GO BUNGY සමාගම සතුවන අතර 15% ක අදායමක් ශ්‍රි ලංකාවට හිමිවන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

මෙලෙස ලෝකයේ ප්‍රචලිතව ඇති මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ද ආරම්භ කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේය.

“විදේශිකයින්ට හා දේශීය අයට ගාස්තු වර්ග දෙකක් තියෙනවා. ලංකාවේ අයට අඩු ගාස්තුවක් අය කරන්න හදන්නේ. දෙසැම්බර් මාසයේ කැමති අය වෙනුවෙන් තරගයක් තියලා තෝරාගන්නා කිහිපදෙනෙකුට නොමිලේ අවස්ථාවක් දෙන්න බලාපොරොත්තුවෙනවා.” යනුවෙන්ද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

එළැඹෙන ජනවාරි මස මෙම ක්‍රීඩාව නෙළුම් කුළුණේ දී ආරම්භ කිරීම සැලසුම වන අතර, මෙය සංචාරක කර්මාන්තයේ ඉමහත් ආකර්ෂණයට ලක් වනු ඇති බවත් අපේක්ෂාව වී තිබේ.

මේ අතර, නෙළුම් කුළුණ විවෘත කර දවස් 20ක කාලයක් ඇතුළත විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව ඇති බවත් මේවන විට උපයා ඇති ආදායම මිලියන 72කට ආසන්න බවද සමරසිංහ මහතා සඳහන් කළේය .

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන ඉතා හොඳ ආයෝජන කලාපයක් බවට නෙළුම් කුළුණ ඉදිරියේදි පත්වන බව විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සදහන් කළේය.

Visits: 123