HNB Finance සභාපති දිල්ෂාන් රොද්‍රිගෝ එම සමාගමේ කොටස් මිලියනයක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත HNB Finance PLC සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන දිල්ෂාන් රොද්‍රිගෝ මහතා එම සමාගමෙහි ප්‍රකාශිත කොටස් අතරින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියනයක් (1,000,000ක්) මිලදී ගෙන ඇතැයි පවසයි.

පසුගිය ඔක්තෝබර් 05 වැනිදා මෙම මිලදී ගැනීම සිදුව තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 5.30ක් බැගින් මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 5,300,000කි.

දිල්ෂාන් රොද්‍රිගෝ මහතා HNB Finance PLC සමාගමෙහි සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. ඔහු විසින් සිය පෞද්ගලික ගිණුමක් වෙත මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

HNB Finance PLC හැටන් නැෂනල් බැංකුවට අනුබද්ධිත මූල්‍ය සමාගමකි. 2022 ජූනි 30 වැනිදා අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂිකව වාර්තාවට අනුව එහි කොටස් හිමිකාරීත්වයෙන් 724,904,118ක් එනම් 51%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ හැටන් නැෂනල් බැංකුව වෙතයි.

එසේම කොටස් 400,000,000ක් සෙලාන් බැංකුව/ප්‍රයිම් ලෑන්ඩ්ස් (පෞද්) සමාගම හවුල් ගිණුමට හිමිය. එය 28.14%ක ප්‍රතිශතයකි. එසේම ප්‍රයිම් ලෑන්ඩ්ස් (පෞද්) සමාගමට කොටස් 150,304,554ක් හිමි අතර එය 10.57%ක ප්‍රතිශතයකි.

මේ අතර මේ දක්වා HNB Finance PLC කොටස් හිමිකාරීත්වයක් හිමිව තිබුණේ සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතරින් දෙදෙනකු සඳහා පමණකි. ඒ අනුව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ප්‍රභාත් මහතා වෙත කොටස් මිලියනයක් හිමිව තිබූ අතර, මහින්ද පෙරේරා මහතා සතුව කොටස් 25,000ක් ඇත.

එසේම එල්එල්සීසී තම්බියාහ් මහත්මිය සතුවත් HNB Finance PLC සමාගමෙහි කොටස් මිලියනයක හිමිකාරීත්වයක් ඇත.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී HNB Finance PLC කොටසක වටිනාකම රුපියල් 5.00ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 5.20ට සාපේක්ෂව ශත 20ක එනම් -3.85%ක පහත වැටීමකි.

Views: 390