පාසල් දැරියන්ට සුවිශේෂී මුදලකට සනීපාරක්ෂක තුවා ලබා දීමට Eva ‘Dream’ පියවර ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක තුවා සන්නාමය වන Eva පාසල් සිසුවියන් වෙනුවෙන් වන සුවිශේෂී Eva Dream සනීපාරක්ෂක තුවා සන්නාමය හා ව්‍යාපෘතිය හඳුන්වා දීම පසුගියදා සිදු විය.

නිෂ්පාදන සඳහා වන අමු ද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු ආර්ථිකමය සාධක රැසක් හේතුවෙන් මෙරට වෙළෙඳපොලෙහි සනීපාරක්ෂක තුවා මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ඔසප් දිනයන්හිදී සිසුවියන් පාසල් පැමිණීමේ අඩුවක් පවතින බව පසුගිය දින කිහිපයේදී මාධ්‍ය වාර්තා කර තිබිණ.

විශේෂයෙන් දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශයන්හි මෙම තත්වය ඉතා ඉහළ අගයක් ගෙන ඇති බවද එම වාර්තාවන්ගෙන් කියවිණ. පවතින ආර්ථික තත්වය තුළ බොහෝ දෙනෙකුට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ හැකියාවක් නොමැති වීම ඊට හේතුවක් විය.

ඒ බව මනාව අවබෝධ කරගත් Eva පාසල් සිසුවියන් වෙනුවෙන් සහන මිලක් යටතේ සිය සනීපාරක්ෂක තුවා නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් Eva Dream සන්නාමය හා ව්‍යාපෘතිය හඳුන්වාදීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපනයෙහි වටිනාකමද මනාව අවබෝධ කර ගනිමිනි.

සනීපාරක්ෂක තුවාවල මිල අධ්‍යාපනයට බාධාවක් නොමැති විය යුතු බව පෙන්වා දෙමින් අවශ්‍යම මොහොතේ පාසල් සිසුවියන්ට පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන්ටද මහත් අස්වැසිල්ලක් බවට පත් වන්නට මේ Eva Dream සන්නාමයට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුධය හමුවේ ජනතාවට සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම හේතුවෙන් තව දුරටත් පීඩාවට පත් නොකළ යුතු බව Eva හි අදහසයි. ඒ නිසාම මෙරට දියණියන්ගේ අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ආරක්ෂා කරමින් ඔවුන් වෙත සනීපාරක්ෂක තුවා 8ක Eva Dream පැකට්ටුවක් රුපියල් 140/- වැනි සුවිශේෂී මිලකට පාසල තුලදීම තුවා ලබා දීමේ මෙම වැඩසටහන ආරම්භ කිරීම ඔවුන්ගේ අඛණ්ඩ පාසල් අධ්‍යාපනයට සවියක් වනු නොඅනුමානය.

එමෙන්ම සුවිශේෂී ආකාරයෙන් නිමවා ඇති මෙම සනීපාරක්ෂක තුවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්වයන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇතැයිද සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂිකා ශාන්ති බගීරතන් මහත්මිය සඳහන් කර සිටියේ “මෙම Eva Dream සන්නාමය හා ව්‍යාපෘතිය හරහා දහස් සංඛ්‍යාත පාසල් ශිෂ්‍යාවන් පිරිසකගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කිරීමට අපි අපේක්ෂා කරනවා. ඔවුන්ට දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවා ලබා දීම තුළින් මේ තත්වය අවම කිරීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා. එහි පියවරක් ලෙස Eva Dream සන්නාමය හා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපි කටයුතු කළා.” යනුවෙනි.

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශයන්හි පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් මෙන්ම දිවයිනේ සෑම පාසලකම ඔසප් සනීපාරක්ෂාව අවැසි සිසුවියන් වෙනුවෙන් ක්‍රියාත්මක Eva Dream වැඩසටහන හරහා සහන මිලක් යටතේ උසස්ම තත්වයේ සනීපාරක්ෂක තුවා ලබා දීමට අමතරව ඔසප් සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් තව දුරටත් දැනුවත් කිරීමටද Eva අරමුණු කොට ගෙන ඇත.

Visits: 52