මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්ම පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව පවසයි. ඊයේ රැස්වුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින 14.50% සහ 15.50% අනුපාතයන්ගෙන් තවදුරටත් පවත්වාගෙන යන බව මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම වර්තමාන සාර්ව ආර්ථික තත්ත්වයන් වෙත අවදානය යොමු කරමින්, බලාපොරොත්තු සහගත සංවර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකතනයන් අනුව මෙම තීරණයට පිවිස බව මුදල් මණ්ඩලය පවසයි.

එසේම මෙම දැඩි මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් උද්ධමනයේ ඉහළයාම යම් තරමකින් පමා කිරීමක් සිදුවන බවත් එම මණ්ඩලය පෙන්වා දෙයි. ඒ අනුව යම් කාලයක් යනතුරුම මෙම දැඩි මුදල් ප්‍රතිපත්තිය එලෙසින්ම පවත්වාගෙන යාමක් සිදුවනු ඇතැයි යන්න එමමණ්ඩලයේ අදහස වී තිබේ.

එසේම රජය විසින් ක්‍රියාත්මක කෙරෙන මූල්‍ය ප්‍රතිපත්තීන්ද මෙම දැඩි මුදල් ප්‍රතිපත්තීන්හි බලපෑම වෙත දායකත්වයක් ලබා දෙනු ඇතැයිද මහ බැංකුව පවසයි. මේ හරහා ඉහළ යන ඉල්ලුම් පීඩනය යම් තරමකින් පාලනය කරගත හැකි වනු ඇති බවත් සඳහන් වෙයි. ඒ අනුව මැදිකාලීනව මෙරට උද්ධමනය ඉලක්ක ගත 4%ත් 6%ත් අතර මට්ටකට රැගෙන ඒම මුදල් මණ්ඩලයේ අපේක්ෂාව වී තිබේ.

Views: 77