වින්ඩ්ෆෝර්ස් පීඑල්සී රු.මි. 200ක ආයෝජනයකින් විදුලි වාහන හා සබැඳි ව්‍යාපාරයකට පිවිසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම (WIND.N0000) මෙරට තුළ විදුලි වාහන (EV) සහ ඊට සහයෝගී සේවාවන් වෙත සිය මුදල් ආයෝජනය කිරීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම සිය සමාගමෙහි පරිපාලිත සමාගම් ලෙස Satva Automotive (Pvt) Ltd සහ Bluesky EV (Pvt) Ltd නමින් සමාගම් දෙකක් ස්ථාපිත කළ බව ඊයේ දිනයේදී අනාවරණය කර තිබේ.

කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව පවසා සිටියි.

මෙහිදී පසුගිය සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වුණු වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගමේ විශේෂිත අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳව වන අනුමැතිය හිමිව තිබෙන බවත්, මෙම නව ව්‍යාපාර අවස්ථා දෙක සඳහා සිදු කිරිමට සැලසුම් කර ඇති ආයෝජනය රුපියල් මිලියන 200ක් වන බවත් එම සමාගම පවසයි.

විශේෂයෙන්ම සිය සමාගමේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කරමින් නව වෙළෙඳ පොළ අවස්ථා පිළිබඳව ගවේෂණය සහ ඒ හරහා සිය සමාගම පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය තුළ තිරසාර සංවර්ධනයක් වෙත යොමු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් සමාගම සඳහන් කරයි.

ඒ අනුව Satva Automotive (Pvt) Ltd හි 80%ක කොටස් හිමිකාරීත්වයක් සහ Bluesky EV (Pvt) Ltd හි 90%ක කොටස් හිමිකාරීත්වයක් තමන්ට හිමිවන පරිදි මෙම නව සමාගම් පිහිටුවීම සිදුකළ බවත් වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම පවසා සිටියි.

Visits: 226