එමිරේට්ස් සහ යුනයිටඩ් එයාර්ලයින්ස් නව ගිවිසුමටකට එළඹෙති

එමිරේට්ස් ගුවන් සමාගම ඇමරිකා එක්සත් ජනපදයෙහි සහ ලොව වටා ගමනාන්ත සිය ගණනකට පහසු ගුවන් සම්බන්ධතා ලබා දෙමින් යුනයිටඞ් එයාර්ලයින්ස් සමාගම සමගින් තම ජාත්‍යන්තර ජාලයන් ව්‍යාප්ත කරන ඓතිහාසික නව ගිවිසුමකට පිවිසීම සිදුව තිබේ.

මෙම ගිවිසුම යටතේ නොවැම්බර් මාසයේ සිට ඇමරිකාවේ විශාලතම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන තුනක් වන චිකාගෝ, සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ හුස්ටන් නගරවලට පියාසර කරන එමිරේට්ස් ගුවන් මගීන්ට තනි ප‍්‍රවේශ පත‍්‍රයකින් ඇමරිකාවේ තවත් ගමනාන්ත 200 කට ආසන්න ගණනකට යුනයිටඞ් එයාර්ලයින්ස් ගුවන් සේවා ලබාගත හැකි වනු ඇත.

එමිරේට්ස් ගුවන් සේවා ක‍්‍රියාත්මක කරන ඇමරිකාවේ තවත් ගමනාන්ත අටක් වන බොස්ටන්, ඩැලස්, ලොස් ඇන්ජලීස්, මයෑමි, නිව් යෝර්ක්,  ඕලැන්ඩෝ, සියැටල් සහ වොෂිංටන් DC නගරවලට ගමන් ගන්නා මගීන් සඳහා යුනයිටඞ් ගුවන් සමාගම සමඟ ඉන්ටර්ලයින් (Interline) ගිවිසුමක් ක‍්‍රියාත්මක වනු ඇති බව එමිරේට්ස් නිවේදනය කර ඇත.

2023 මාර්තු මාසය සිට යුනයිටඞ් එයාර්ලයින්ස් නිව්යෝර්ක් සහ නිවාර්ක් සිට ඩුබායි වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත වන අතර එම ගුවන් සේවා භාවිතා කරන මගීන්ට එමිරේට්ස් හෝ ෆ්ලයිඩුබායි ගුවන් සේවා යොදාගනිමින් ඩුබායි සිට ගමනාන්ත 100 කට අධික ගණනකට පියාසර කිරීමට හැකි වනු ඇත.

මෙම ඓතිහාසික ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සේවයේ ප‍්‍රධානී ශ‍්‍රීමත් ටිම් ක්ලාක් මහතා මෙසේ පැවසුවේය. ”ජාත්‍යන්තර ගුවන් සේවා වලට ඉල්ලූම වර්ධනය වන අවධියක ලෝකයේ විශාලතම මෙන්ම වඩාත් සුප‍්‍රසිද්ධ ගුවන් සමාගම් දෙකක් මෙලෙස අත්වැල් බැඳගැනීම පාරිභෝගිකයින්ට විශිෂ්ට වරප‍්‍රසාද රැසක් ගෙනදෙනවා. ඊට අමතරව, මෙයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තිබෙන සම්බන්ධතාවය තවත් ශක්තිමත් වෙනවා. දීර්ඝකාලීනව යුනයිටඞ් එයාර්ලයින්ස් සමඟ ඇතිකර ගෙන තිබෙන සම්බන්ධතාවය තව දුරටත් වර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා.”

යුනයිටඩ් එයාර්ලයින්ස් ප‍්‍රධාන විධායක නිළධාරී ස්කොට් කර්බි මහතා පැවසුවේ ලොව සුප‍්‍රකට ගුවන් සමාගම් දෙකක් එකමුතු වීම තුළින් මගීන්ට ගුවනේ ලබාදිය හැකි හොඳම අත්දැකීම් සම්පාදනය කිරීමට දැඩි කැපවීමක් තිබෙන බවයි. ගෝලීය සංචාරක කටයුතු තවත් පහසු කරන අතරම, සංස්කෘතික සම්බන්ධතා ගොඩනගමින් දේශීය ආර්ථීකයන්ගේ වර්ධනයට ද මෙම ගිවිසුම දායකත්වයක් ලබා දෙනු ඇතැයිද ඔහු ප‍්‍රකාශ කළේය.

Views: 61