ලංකා IOC ත්‍රිකුණාමලයේ පිහිටුවූ ග්‍රීස් කර්මාන්තශාලාව අද සිට වාණිජ මෙහෙයුම් අරඹලා

ලංකා අයිඕසී (Lanka IOC) සමාගම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටවූ ලංකාවේ එකම ග්‍රීසි කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු අද දිනයේදී ආරම්භ කළ බව එම සමාගම පවසයි.

කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ.

2020 වසරේ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 320ක ආයෝජනයකින් මෙම ග්‍රීස් කර්මාන්තශාලාව පිහිටුවීමට ලංකා අයිඕසී සමාගම කටයුතු යෙදීය.

ඒ අනුව වසර දෙකකට අධික කාලයකට පසුව එම සමාගම වෙත මෙම ග්‍රීස් කර්මාන්තශාලාවේ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට අවස්ථාව උදා වී තිබේ.

මේ අතර ඉදිරියේදී ත්‍රිකුණාමලය ලංකා අයිඕසී පර්යන්තය තුළ දැනට ක්‍රියාත්මක ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්තශාලාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබීමට නියමිතව ඇතැයිද ලංකා අයිඕසී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 167