මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් සම්පත් බැංකුවට රුපියල් මිලියනයක දඩයක්

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය මගින් සම්පත් බැංකුව වෙත රුපියල් මිලියනයක දඩයක් පනවා ඇතැයි පවසයි.

ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මගින්, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියාකරන මූල්‍ය ආයතන සඳහා මෙලෙස මූල්‍යමය දණ්ඩන පැනවීම සිදු කරයි.

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරැම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි බව මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

මෙලෙස මූල්‍යමය දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කිරීමක් සිදු කරන බවත් මහ බැංකු මූල්‍යබුද්ධි ඒකකය සඳහන් කරයි.

මහ බැංකුව සඳහන් කරන ආකාරයට 2022 ජූනි 02 වැනිදා මූල්‍ය බුද්ධි ඒකකය විසින් සම්පත් බැංකුව වෙත මෙම දණ්ඩනය පැනවීම සිදු කර ඇති අතර, ජූලි 01 වැනිදා එම දණ්ඩනය ගෙවීම සිදුව තිබේ.

“මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේදී සම්පත් බැංකුව අනුගමනය කරන ක්‍රියා පටිපාටියේ උල්ලංඝනයක් සිදු වී ඇති බවත්, එම උල්ලංඝණය හේතුවෙන් සම්පත් බැංකුව විසින් හෙළිදරව් කිරීමෙන් වළක්වා ගත යුතුව තිබූ තොරතුරුවල සීමිත හෙළිදරව්වීමක් සිදු වී ඇති බවත්, අනාවරණය වීම හේතුවෙන් තොරතුරු හෙළිදරව් නොකිරීමේ කාර්යයට අදාළව මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 9 (1) වගන්තියට අනුකූල නොවීම සම්බන්ධයෙන් මෙම මුල්‍යමය දණ්ඩනය පනවන ලදී.” යනුවෙන් මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

Views: 719