DECATHLON ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටුවයි

ක්‍රීඩා භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන DECATHLON ශ්‍රී ලංකාව තුළ සිය සිල්ලර ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනය කරයි. ඒ අනුව සිය අලෙවිසල් දෙකෙහි කටයුතු සහ අන්තර්ජාල භාණ්ඩ අලෙවිය මෙලෙස ඔක්තෝබර් 30 වැනිදා සිට අත්හිටුවන බව සමාගම පවසා සිටියි.

මෙහිදී මූලිකවම රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය මෙම තීරණයට හේතුව වූ බව Decathlon Sri Lanka සමාගම සඳහන් කරයි. මේ හේතුවෙන් සිය නිෂ්පාදන අංග නැවත සැපයීමේ දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවත් සමාගම පවසයි.

මෙම Decathlon Sri Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ සිල්ලර ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කළේ 2018 වසරේදීය. ඒ අනුව ඔවුන් බත්තරමුල්ලේ සහ යුනියෙන් පෙදෙසේ සිය අලෙවි සැල් දෙකක් පවත්වාගෙන ගියේය. මෙම අලෙවි සැල් හරහා වඩාත් සාධාරණ මිලකට ක්‍රීඩා භාණ්ඩ සහ උපාංග මිලදී ගැනීමේ අවස්ථාව හිමි වූ බව පාරිභෝගිකයන්ගේ අදහස විය.

මේ අලෙවිසැල් අතරින් යුනියන් පෙදෙසේ අලෙවි සැල පසුගිය ජූලි 31 වැනිදා දිනයේ සිට වසා දැමීමට සමාගම පියවර ගෙන තිබුණි. එසේම අන්තර්ජාල භාණ්ඩ වෙබ් අඩවියද ඒ සමගම අකර්මණ්‍ය කෙරිණි.

කෙසේ වෙතත් Decathlon Sri Lanka සමාගම මෙතෙක් මෙරට තුළ පවත්වාගෙන ආ දේශීයව ක්‍රීඩාං භාණ්ඩ නිෂ්පාදන කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන බව පවසයි. විශේෂයෙන්ම තමන් සමග සිටි දේශීය සේවකයන්ට ලබා දෙන සහයෝගයක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර රට තුළ පවතින අයහපත් තත්ත්වය සමනය වූ වහාම යළිත් ශ්‍රී ලංකාව තුළ සිය සිල්ලර අලෙවි ක්‍රියාකාරකම් ආරම්භ කිරිමටත් පියවර ගන්නා බවද Decathlon Sri Lanka සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

ගෝලීය සන්නාමයක් වන DECATHLON සමාගම 1976 වසරේදී ප්‍රංශයේදී පිහිටුවූවකි. එය ලොව විශාලතම ක්‍රීඩා භාණ්ඩ නිර්මාණකරුවෙකු, නිෂ්පාදකයෙකු සහ අලෙවිකරුවෙකු ලෙස හඳනාගෙන තිබේ. අද වනවිට ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක් තුළ එහි අලෙවිසැල් 1170කට වඩා වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බව පැවසෙයි.

Views: 163