ඩොලර් බිලියන 137ක වත්කමක් සමගින් අදානි ලොව තෙවැනි ධනවතා වෙයි

ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ලොව තෙවැනි ධනවතා බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ඉදිරිපත් කරන Bloomberg Billionaires දත්ත වාර්තාව පවසයි. ඒ අනුව මෙම ස්ථානයට පත් වූ පළමු ආසියානුවා බවටද ඉතිහාසයට එක්වීමට අදානි සමත්ව සිටියි.

ටෙස්ලා සමාගමේ එලෝන් මස්ක් සහ ඇමසෝන් සමාගමේ ජෙෆ් බෙසොස්ට පසුව එහි තෙවැනි ස්ථානය හිමිකරගැනීමට අදානි සමත්ව තිබේ. බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව අද වන විට අදානිගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 137.4කි. මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 251ක් වන අතර, ජෙෆ් බෙසොස්ගේ වත්කම ඩොලර් බිලියන 153කි.

මෙහිදී අදානි පසු කර ඇත්තේ මෙතෙක් ලොව තෙවැනි ධනවතා ලෙස සිටි සුප්‍රසිද්ධ Louis Vuitton වෙළෙඳ නාමයේ හිමිකරුවා වන LVMH සමාගමේ සමනිර්මාතෘ ප්‍රංශ ජාතික බර්නාඩ් ආර්නෝල්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 136ක් ලෙස සටහන්ව තිබේ.

බ්ලූම්බර්ග් මිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව ගතවුණු වසරක කාලය තුළදී අදානිගේ වත්කම ඩොලර් බිලියන  60.9 කින් ඉහළ ගොස් ඇත. එසේම බර්නාඩ් ආර්නෝල්ගේ වත්කම ඩොලර් බිලියන 42කින් පහත වැටී ඇත.

වර්තමානය වනවිට අදානි සමූහය ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් සිදු කරන සමාගම මෙන්ම විශාලතම ගල් අගුරු අලෙවිකරුවාද වෙයි. 2021 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් අදානි එන්ටර්ප්‍රයිසස් සමාගම ලැබූ ආදායම ඩොලර් බිලියන 5.3කි.

විශේෂයෙන්ම ආසන්න සතියේදී අදානිගේ ව්‍යාපාර සම්බන්ධයෙන් වාර්තා වූ පුවත් ඔහුගේ වත්කම කැපී පෙනෙන ලෙස ඉහළ දැමීමට හේතුවී ඇතැයි ඉන්දියානු මාධ්‍ය පවසයි. එහිදී අදානි විසින් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත් නාලිකාවක් වන NDTV හි 29%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීම සහ තවත් 26%ක ප්‍රතිශතයක් මිලදී ගැනීමට කැමැත්ත පළ කිරීම කැපී පෙනෙන අවස්ථාවක් විය.

Views: 127