ශ්‍රී ලංකාවේ විදෙස් ණය පිළිබඳව ණයහිමි සියලු රටවල් එකට එක්ව සාකච්ඡා කරමු – ජපාන මුදල් ඇමති

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදෙස් ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත ණය ලබා දී ඇති සියලුම විදෙස් රාජ්‍යයන් එකට එක්ව සාකච්ඡා කළ යුතුව ඇතැයි ජපානයේ මුදල් අමාතය ෂුනිචි සුසුකි පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙහිදී ජපානය අනෙකුත් ණය හිමිකරුවන් සමගින් මේ සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම මාසයේදී රොයිටර් පුවත් සේවය හා සම්බන්ධවෙමින්, ශ්‍රී ලංකාව තමන් සතු ද්විපාර්ශ්වික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රධානතම ණයහිමි රටවල් වෙත ආරාධනා කරන ලෙස ජපානයෙන් ඉල්ලීමක් සිදු කරන බව පවසා තිබූ බවත් එම පුවත් සේවය මතක් කර දෙයි.

ඒ අනුව අද පෙරවරුවේදී ජපානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇති ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මෙවැනි හමුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවත් සමගින් සාකච්ඡා කර නොමැති බව පවසා තිබේ.

“අපිට ශ්‍රී ලංකාවත් සමගින් විවිධ අන්තර්ක්‍රියාකාරකම් පවතිනවා. නමුත් මේ වන තෙක් එවැනි සාකච්ඡාවක් සඳහා යාමකට කිසිදු සූදානමක් නෑ.” යනුවෙන් ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

Visits: 71