AkzoNobel (Dulux) කතරගම කිරි වෙහෙරේ පිවිසුම අසල නව ඝණ්ටාර කුලුනක් ඉදිකරයි

Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම, සිය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්, හිතමිතුරන් සහ තමන් සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාව සමග එක් වී කතරගම කිරි වෙහෙර පිවිසුම අසල නව ඝණ්ටාර කුලුනක් ඉදිකිරීමට කටයුතු කර තිබේ.

මෙය විවෘත කිරීමේ උත්සවය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු පංචමාහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය කොබවක දම්මින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අඩි 27 ක උසකින් යුත් නව ඝණ්ටාර කුලුන, කිරි වෙහෙර පරිශ්‍රයට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසල ඉදිකර තිබේ. පස්ලෝ (තඹ 79%, සුදු ඊයම් 20%, රිදී, රන් හා යකඩ 1%) භාවිතයෙන් ශ්‍රී ලංකාවේදී ඉදිකරන ලද එහි බර කිලෝග්‍රෑම් 800 කට අධික ය. එහි අවම උස අඩි 4.5 ක් වන අතර, පාදමෙහි විෂ්කම්භය අඩි 4 කි.

බුද්ධ වර්ෂ 979 (ක්‍රිස්තු වර්ෂ 435) ට පමණ අයත් ලෙස සැලකෙන කතරගම සෙල්ලිපියට අනුව, බුදුන් වහන්සේ රහතන් වහන්සේලා පන්සිය නමක් සමග තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ කතරගම ප්‍රදේශයේ පිහිටි කිහිරි වනයක් වෙත වැඩම කර සමවත් සුවයෙන් කාලය ගතකර ඇත. එකල එම ප්‍රදේශයේ පාලකයා වූ මහාඝෝෂ, බුදුන් වහන්සේ වැඩ සිටි රන් ආසනය, උන්වහන්සේගේ කේශ ධාතු සහ සිද්ධාර්ථ කුමරු අනෝමා ගං ඉවුරේ හිස මුඩු කිරීමට භාවිතා කළ රන් කඩුව ඇතුළු පූජනීය වස්තු තැන්පත් කර දාගැබක් ඉදි කළේ ය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම ඉදිකරන ලදැයි සැලකෙන මෙම දාගැබ සහ එම විහාරය, මෙරට බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති සොළොස්මස්ථාන අතරින් එකක් වන කිරි වෙහෙර ලෙස සැලකේ.

“AkzoNobel පූජා කමිටුවේ උනන්දුව හා කැපවීම මෙන්ම මෙයට සම්බන්ධ වූ සියලුම දෙනාගේ නොමසුරු දායකත්වය නිසා අපට කතරගම කිරි වෙහෙරට මෙම ඝණ්ටාර කුලුන පරිත්‍යාග කිරීමට හැකි වුණා. මෙය බැතිමතුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි කියා අප සිතනවා. එමෙන්ම මෙය අප සියලුම දෙනා පූජනීය සිතිවිලි ඔස්සේ එකමුතු කරන පියවරක් වේවි.” AkzoNobel Paints Lanka (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත හීනටිගල මහතා පැවසී ය.

Visits: 74