DFCC හිටපු CEO ලක්ෂ්මන් සිල්වා සෙලාන් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

සෙලාන් බැංකුවෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ලක්ෂ්මන් සිල්වා මහතා පත් කර ගැනීමට එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ පියවර ගත් බව පවසයි.

ඒ අනුව ඒ මහතා ඊයේ (ජූලි 18) සිට ක්‍රියාත්මක වන පරිදි බැංකුවෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරුණු බව සෙලාන් බැංකුව සඳහන් කරයි.

මෙම නව පත් කිරිම සම්බන්ධයෙන් වන අනුමැතිය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය ජූලි 12 වැනිදා ලබා දී තිබේ.

මේ අතර මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වන විට ලක්ෂ්මන් සිල්වා මහතා සතුව සෙලාන් බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වක් නොතිබූ බවත් බැංකුව පවසයි.

ලක්ෂ්මන් සිල්වා මහතා මීට පෙර 2017 අගොස්තු මාසයේ සිට 2021 දෙසැම්බර් මාසය දක්වා DFCC බැංකුවෙහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි රැකියාවකට එක්වෙමින් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ලක්ෂ්මන් සිල්වා මහතා 1987වසරේදී DFCC බැංකුව හා එක්ව තිබේ. ඒ මහතා 2003 වසරේදී DFCC වර්ධන බැංකුවෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස පත් කෙරුණු අතර 2010 වසරේ ජනවාරි මාසයේදී එම බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ ධුරයට පත් කෙරිණි. එසේම ඒමහතා 2015 ඔක්තෝබර් මාසයේ සිට 2017 අගෝස්තු දක්වා DFCC බැංකුවෙහි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා/අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.

2021 දෙසැම්බර් මාසයේදී DFCC බැංකුවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ලක්ෂ්මන් සිල්වා මහතා DFCC Consulting (පෞද්) සමාගමෙහි සභාපතිවරයා බවට පත්විය. එසේම DFCC බැංකුවෙහි පරිපාලිත සමාගමක් වන Synapsys හි ද සභාපතිවරයා විය.

එසේම ඒ මහතා ඇක්විටි පාර්ට්නර්ස්, ලංකා වෙන්චර්ස් ලිමිටඩ් සහ LVL එනර්ජි ෆන්ඩ් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ලංකා ක්ලියර් (පෞද්) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය.

වර්තමානයේදී ලක්ෂ්මන් සිල්වා මහතා පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

Views: 54