ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, මාතෘ සත්කාර සේවාව නව මානයකට ඔසවා තබයි

ශ්‍රී ලංකාවේ කාන්තා සහ ළමා සෞඛ්‍ය සේවයේ ඉදිරියෙන්ම සිටින ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, ගර්භණී මව්වරුන්ට තමන් නේවාසිකව සිටින රෝහල් කාමරයේදීම දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු ආරම්භ කර තිබේ.

මෙම නව වැඩපිළිවෙල හරහා තම නිවසට හුරු වටපිටාවකදී දරු ප්‍රසූතිය සිදුකිරීමට මෙන්ම ජලය යට ප්‍රසූතිය සිදුකිරීමේ අවස්ථාව (pool delivery) ද මව්වරුන්ට හිමිව තිබේ.

ලබන වසරේදී තම සියවස් සැමරුමට ද සූදානම් වන ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, 2018 වසරේදී මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු වන මෙල්ස්ටා හෙල්ත් ආයතනය යටතට පත්විය. මෙල්ස්ටා හෙල්ත් යනු ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණ සමූහ ව්‍යාපාරයක් මෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගත දැවැන්තම සමාගම් 10 අතරට අයත් මෙල්ස්ටාකෝප් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි.

ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල යනු කාන්තාවකගේ උපතේ සිට නාරි හා ප්‍රසවවේද සත්කාර, ළමා රෝග සත්කාර, මල්වරභාවය සහ අර්තභාවය වැනි ජීවිතයේ විවිධ අවශ්‍යතාවන්හිදී අසමසම සේවාවක් ලබාදෙන රෝහලකි. 

යටත් විජිත යුගයට අයත් පෞරාණික වාස්තු විද්‍යාත්මක උරුමය ආරක්ෂා කරගන්නා අතර, නවීන තාක්ෂණය දායක කරගත් ගෝලීය මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල සමත් ය. අක්කර තුනහමාරක විශාලත්වයෙන් යුතු සුන්දර ගෙවත්තකින් ද අලංකෘත මෙම රෝහල අන් කිසිදු රෝහලකදී අත්විඳිය නොහැකි ආකාරයට ස්වභාව ධර්මය සමඟ බැඳී තිබීම ද කැපීපෙනේ.

″අපගේ දැක්ම වන්නේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය විප්ලවීය පරිවර්තනයකට ලක් කළ හැකි වැදගත් පියවර අනුගමනය කරමින්, ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල මෙරට සුවිශේෂීම සෞඛ්‍ය සේවා සැපයුම් ස්ථානයක් බවට පත්කිරීමයි. රට පුරා විහිදෙන මෙල්ස්ටා රෝහල් ජාලය මෙන්ම මෙල්ස්ටා වෛද්‍ය රසායනාගාර සේවාවත් ඊට සුවිසල් දායකත්වයක් ලබාදෙනවා. සියලු දෙනාටම සේවා ලැබිය හැකි සහ, දැරිය හැකි මිල ගණන් යටතේ උපරිම සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට අපි කැපවෙනවා″, යනුවෙන් මෙල්ස්ටා හෙල්ත් පුද්ගලික සමාගමේ රෝහල් ව්‍යාපෘති අංශ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කේ. ත්‍යාගරාජා ඉරයිවන් මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී තමන් රැඳී සිටින රෝහල් කාමරය තුළදීම දරු ප්‍රසූතියට අවස්ථාව සලසා දීම තුළින් සාම්ප්‍රදායික ප්‍රසූතිකාගාරයක් සැත්කම් ඒකකයකට සාපේක්ෂව වැඩි මානසික නිදහසකින් යුතුව, විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයින් සමඟ එකට රැඳී සිටීමේ අවස්ථාව ගර්භණී මවට හිමි වේ. එමෙන්ම රෝහල් කාමර ඉතාම ඉහළ පහසුකම්වලින් සමන්විත අතර, සෑම කාමරයකටම රෝහල් ගෙවත්තට මුහුණ ලෑ සඳලුතලයක් ද තිබේ. එමගින් ඇසට මෙන්ම මනසට ද ලැබෙන්නේ මහත් සුවයකි.

දරු ප්‍රසූතිය සිදුවන්නේ ද ඉහළම සෞඛ්‍ය ප්‍රමිතීන්ට යටත්ව, රෝහලේ උපදේශිකාවක ලෙස ක්‍රියාකරන බ්‍රිතාන්‍ය ජාතික වින්නඹු නිලධාරිනියකගේ අධීක්ෂණය යටතේ වීම කැපීපෙනේ. එමෙන්ම සෙසු කාර්යමණ්ඩලය සහ විශේෂයෙන්ම හෙද නිලධාරීන් ද ඉහළම සේවයක් සැපයිය හැකි පුහුණු කාර්යමණ්ඩලයකි. මීට අමතරව, pool delivery යනුවෙන් හැඳින්වෙන ජලය යට දරු ප්‍රසූතිය සිදුකිරීමේ අවස්ථාව ද ගර්භණී මව්වරුන්ට සිය කැමැත්ත මත තෝරාගත හැක. 

″මාතෘ සත්කාර සේවාවේ ප්‍රමුඛයෙකු වශයෙන් ශ්‍රී ලංකාව තුළ පළමු වරට තමන් රැඳී සිටින රෝහල් කාමරය තුළදී දරු ප්‍රසූතිය සඳහා පහසුකම් සැලසීමට හැකිවීම අපට විශාල සතුටක්. තවද එම සේවාව සඳහා තරගකාරී සහ දැරිය හැකි මිලක් පිරිනැමීමට හැකිවීම පිළිබඳවත් අපි සතුටට පත්වෙනවා. අපි ඉදිරියටත් නූතනත්වය වැළඳගනිමින්, සාමාන්‍ය සත්කාර සේවාවට ඔබ්බට ගිය සේවාවක් ලබාදීම වෙනුවෙන් පෙනී සිටිනවා″, යනුවෙන් ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේ සාමාන්‍යාධිකාරිනී රොෂිටා නිරූෂාන් මහත්මිය පැවසුවාය.

වර්ෂ 1923දී ආරම්භ වූ ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල යනු සාඩම්බර ඉතිහාසයක් රැගත් සෞඛ්‍ය සේවා ආයතනයකි. යටත් විජිත යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම අලංකාර ගෙවතු, එළිමහන් අවන්හල, ස්වභාවික ආලෝකය සහ ශබ්ද වලින් පිරී ගත් මෙම රෝහල් පරිසරය දුටුවනින්ම කෙනෙකුගේ නෙත් සිත් පැහැරගැනීමට සමත් සුන්දර පරිසරයකින් යුතු ය. වැඩිදුර තොරතුරු සඳහා 0115 001 001 දුරකථන අංකය හෝ www.josephfraserhospital.lk වෙබ් අඩවිය හරහා ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල සම්බන්ධ කරගත හැක.

Visits: 88