ශ්‍රී ලංකාවේ “හේමාස්” ඕමාන වෙළඳපොළට පිවිසීමට සූදානම් වෙයි

ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන වසර 72ක් පැරණි හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම (Hemas Holding PLC) ඕමාන වෙළඳපොළට පිවිසීමට නියමිතව සිටින බව පවසයි.

ඊට අදාළව හේමාස් සමාගම සහ ඕමානයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (OCCI) අතර සාකච්ඡාවක් පසුගියදා එරට මස්කට් නුවරදී සිදුව තිබේ. එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබේ.

මෙහිදී හේමාස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර කවින්ද්‍ර කසුන් සිගේරා මහතා විසින් ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු රේදා ජුමා අල් සලේහ් මහතා වෙත හේමාස් සන්නාමය හඳුන්වාදීම සිදු කර තිබේ. ඕමානයේ සමස්ත පෞද්ගලික ආයතන අංශයේ එකම නියෝජිතවරයා ලෙස ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය හැඳින්වෙයි. ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

ඒ අනුව හේමාස් නිෂ්පාදන ඕමාන වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රම සහ විධි මෙන්ම සුල්තාන් රාජ්‍යයේ හේමාස් නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අනාගත අභිප්‍රාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන් වෙයි.

මේ අතර, ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීමේ පරමාර්ථයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා මස්කට් ෆාමසි (Muscat Pharmacy) (එෆ්එම්සීජී අංශය), කොන්කෝඩියා ව්‍යාපාර සමූහය (Concordia Group), ෆියුචර් වෙල් ට්‍රේඩින්ග්ස් (Future Well Trading) වෙළඳ සමාගම, ලුලූ (Lulu) අති සුපිරි වෙළඳසැල් ජාලය මෙන්ම ස්පා (SPAR) සුපිරි වෙළඳසැල් ජාලය ඇතුළු ඕමානයේ ව්‍යාපාරික සගයන් සහ හේමාස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අතර ව්‍යාපාරාන්තර රැස්වීම් මාලාවක් සඳහා පහසුකම් සැපයිමක්ද මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සිදු කර තිබේ.

හේමාස් පාරිභෝගික භාණ්ඩ සමාගම නිරත වූ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සංචාරය සම්බන්ධීකරණය කළ එම්එස් හෝල්ඩින්ග් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික උපදේශක දිනේෂ් කුමාර් කාර්තිගේසු මහතා ද මෙම නියෝජිත පිරිස සමඟ එක්ව සිටි බවත් තානාපති කාර්යාලය පවසයි.

Views: 123