රුපියල් 2.25ක ලාභාංශ ගෙවීමක් නිවේදනය කළ ලංකා අයිඕසී කොටසක් රුපියල් 4.90කින් පහළට
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා අයිඕසී පීඑල්සී සමාගම (LIOC.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.25ක් බැගින් හිමිවන ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදු කෙරෙන බව එම සමාගම පවසයි.
මෙය 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද ලංකා අයිඕසී පීඑල්සී සමාගම පවසයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 26 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 05 වැනිදා නම් කෙරී තිබේ.
මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍යව ඇතැයිද සමාගම සඳහන් කර සිටියි. ඒ සඳහා වන යෝජනාව ඇතුළත් මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 04 වැනිදා පැවැත්වීමටද සමාගම කටයුතු යොදා තිබේ.
කෙසේවෙතත් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ලංකා අයිඕසී පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 80.70ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී එහි වටිනාකම වූ රුපියල් 85.60ට සාපේක්ෂව රුපියල් 4.90කින් එනම් 5.72%කින් පහත වැටීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 142