රජයේ නව බදු හේතුවෙන් සහාධිපත්‍යය කර්මාන්තය විනාශයට පත් වෙයිද?

සහාධිපත්‍යය (Condominium) කර්මාන්තය වෙනුවෙන් ලබාදී තිබූ, අගය එකතු කළ බද්දෙන් සහනදායී දේපොළ නිදහස් කිරීම අහෝසි කිරීම (මැයි 31) සඳහා ගත් ඇමති මණ්ඩල තීරණය හේතුවෙන් කර්මාන්තයට සහ එයින් ආර්ථිකයටත් විශාල බලපෑමක් විය හැකි බව ශ්‍රී ලංකා සහාධිපත්‍යය දේපොළ සංවර්ධකයින්ගේ සංගමය පවසයි.

එම සංගමය වෙනුවෙන් එහි උපදේශකවරයෙකු වන නීතීඥ කපිල ගමගේ මහතා විසින් සකස් කරන ලද ලිපියක මේ බව සඳහන්ව තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සහාධිපත්‍යය කර්මාන්තය විසින් ඉඩම් හා දේපොළ ක්ෂේත්‍රය මෙතෙක් ශක්තිමත්ව රඳා තැබුවා පමණක් නොව, ද්විත්ව අර්බුදයක් මැද රටේ ආර්ථිකයකට ද රුකුලක්වී ඇතැයිද එම සංගමය පෙන්වා දෙයි..

2014 අංක 38 දරණ ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පණත තුළින් විදේශිකයින්ට මෙරට ඉඩම් මිලදී ගැනීම තහනම් කොට ඇති වුවද, සහාධිපත්‍යය දේපොළක සතර වැනි මහලට ඉහළින් ඒකක මිලදී ගැනීමට ඉඩ සලසා තිබේ. 2018 අංක 21 දරණ ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පණතේ “සතර වැනි මහලට ඉහළින්” යන්න ඉවත් කොට “ඕනෑම මහලක ඕනෑම ඒකකයක්” යනුවෙන් ඉඩ සළසා සහාධිපත්‍යය දේපොළ සඳහා විදේශිකයින් ඉලක්ක කරගත් බව තහවුරු කොට ඇත.

වසර ගණනාවකට පෙර, විදේශිකයින්ට දේපොළ අලෙවි කිරීමේදී අය විය යුතුව තිබූ 100% බද්ද ඉවත් කිරීම තුළින් සහාධිපත්‍යය දේපොළ විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගයක් ලෙස රජය පිළිගෙන තිබූ බව තහවුරු වී ඇත. විදේශිකයින් විසින් සහාධිපත්‍යය දේපොළ මිලදී ගැනීම පිළිබඳව පනවා තිබූ කොන්දේසි අධ්‍යයනය කිරීමේදී මෙය තව දුරටත් තහවුරු වේ. එනම්:

“එසේ වුව ද, අදාළ පැවරුම් ඔප්පුව ලියා අත්සන් කිරීමට පෙරාතුව මුළු වටිනාකම ආමුඛ විදේශීය ප්‍රේෂණ (Inward Investment Account) හරහා කලින් ගෙවනු ලැබිය යුතුය” – 2014 අංක 38 දරණ ඉඩම් (කොටස් කිරීම් සීමා කිරීම) (සංශෝධන) පනතේ 3 (1) ආ කොටස.

පෙර පැවති රජයන් විසින් සහාධිපත්‍යය දේපොළ, විදේශ විනිමය උපයන ක්‍රමයක් ලෙස හඳුනාගත් අතර සෘජු විදේශීය ආයෝජන සඳහා පැමිණෙන විදේශිකයන්ට අත්‍යවශ්‍යම යටිතල පහසුකමක් බවටද සහාධිපත්‍යය දේපොළ හඳුනා ගත්හ. අනතුරුව, සහාධිපත්‍යය දේපොළ විශාල වශයෙන් රටේ ඉදිකෙරුණු අතර, දේශීය හා විදේශීය සංවර්ධකයින් හා ආයෝජකයින් විසින් ක්ෂේත්‍රයට ආයෝජන කොට ජාත්‍යන්තර මට්ටමේ ඉදිකිරීම් රැසක් රටට හඳුන්වා දෙන ලදී. 99-වසරක බදු මත විශාල ඉඩම් ප්‍රමාණයන් ලබාදී නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය මෙම ආයෝජන සඳහා දිරිගැන්වීමක් ලබා දුන්නෝය.

2020 වසරේදී ශ්‍රී ලංකා දේපල වෙළඳාම් ආයෝජන භාරය ස්ථාපිත කිරීම තුළින් මෙය තව දුරටත් තහවුරු වන අතර, එය තුළින් විවෘත වෙළඳපොළේ සහාධිපත්‍යය දේපොළ සඳහා ආයෝජන කිරීමට පහසුකම් සැලසුනි. මෙහි අරමුණ වූයේ සහාධිපත්‍යය දේපොළ මත පදනම්වූ තවත් කොටස් වෙළඳපොළක් බිහි කිරීමයි. වෙනත් රටවල් සහාධිපත්‍යය දේපොළ යොදා තම ආර්ථිකයන්ට ලබා දුන්සේ කොටසක් ශ්‍රී ලංකා ආර්ථිකයටත් ලබාදී, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බලධාරීන් උත්සාහ ගත්‍ බව මින් පැහැදිලි වේ.

රටේ ආර්ථිකයට තවත් රුකුලක් සේ සැලකෙන පෝට් සිටියත් සහාධිපත්‍යය දේපොළ සංකල්පය මත පදනම්වූ ව්‍යාපෘතියකි. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත හා විශේෂයෙන් එහි 10 වන කොටසෙහි අඩංගු ප්‍රතිපාදන වලට අනුව, අවශ්‍යවූ විට පෝට් සිටියට අදාළ වනසේ දැනට රටේ පවතින සහාධිපත්‍යය දේපොළ නීතිය වෙනස් විය හැක. මෙම පනත අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ රටේ ආර්ථිකය ගොඩ නැංවීම පිණිස පෝට් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම සහාධිපත්‍යය දේපොළ සංකල්පය මත ඉදි කිරීමට බලධාරීන් තීරණය කොට ඇති බවයි.

නවතම සාක්ෂිවලින් පෙනී යන්නේ දැනට පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ සහාධිපත්‍යය දේපොළ මත විශ්වාසය තැබීමට බලධාරීන්ට අවශ්‍ය වූ බවයි. ශ්‍රී ලංකාවේ සහාධිපත්‍යය දේපොළ මිලදී ගැනීම සඳහා වසර 5 සිට 10 දක්වා පදිංචි විසා ලබාදීමට 2022 අප්‍රේල් 25 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

රටේ ආර්ථිකයත් සමග මෙවන් ඉතා සමීප සබඳතාවක් ඇති සහාධිපත්‍යය දේපොළ කර්මාන්තය, ඉදිකිරීම් භාණ්ඩ හිඟය හා ඒවායේ සීඝ්‍රයෙන් ඉහළ යන මිල ගණන් හේතුවෙන් අර්බුදකාරී තත්වයකට මුහුණදී සිටී. මෙවන් තත්වයක් මධ්‍යයේ සහාධිපත්‍යය දේපොළ කර්මාන්තයට නැවත බදු අය කිරීම අපේක්ෂිත ප්‍රතිඑල වලට විරුද්ධ වන අතර, පසු විපරමකට ලක් කළ යුතු වේ.

මැයි 31දා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුව, සහාධිපත්‍යය දේපොළ සඳහා අය කෙරෙන එකතු කල අගය මත බද්දෙන් (VAT) දේපොළ සඳහා මෙතෙක් පැවති සහනදායී නිදහස් කිරීම ඉවත් කොට ඇත. කිසියම් හේතුවකට පසුගිය රජයන් සහාධිපත්‍යය දේපොළ කර්මාන්තය මෙම එකතු කල අගය මත බද්දෙන් (VAT) නිදහස් කළ ද, අද එවන් නිදහස් කිරීමකට හේතු කාරනා ඊටත් වඩා විශාල ප්‍රමාණයකින් පවතී. සහාධිපත්‍යය දේපොළ විදේශ විනිමය උපයා ගැනීම සඳහා යොදා ගත යුතු බවට රජය ගත්‍ තීරණයට දැනට මසකුත් දින කිහිපයක් පමණි.

ආනයන සඳහා පනවා ඇති සීමා හේතුවෙන් අමුද්‍රව්‍ය හිඟයක් පවතී. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඇති වූ ඉදිකිරීම් භාණ්ඩ හිඟය නිසා මිල ගණන් අහස උසට නැග ඇත. ඇතැම් අමුද්‍රව්‍ය මිල ගණන් 300%කින් ඉහළ ගොස් ඇති අතර ඒවා ප්‍රවාහනය සදහා වන වියදමද අධික ලෙස ඉහල ගොස් ඇත. රටේ පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ සියලු යෙදවුම්වල මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තයට දුෂ්කර තත්වයක් නිර්මාණය වෙමින් පවතී. මෙහෙයුම් සඳහා වියදම් ද ඒ හා සමගම ඉහළ නගී. කර්මාන්තයට පසුබෑමක් කිරීමට සිදුවුවහොත් මිලියනයක් පමණ වන සේවකයින්ගේ රැකියා අහිමි වනවා නොඅනුමානය. ඉන් මිලියන 5ක් පමණ ජනතාවක් සාගින්නට හා අහිමි භාවයට යොමුවනු ඇත. දාදු වැටෙන්නාක් මෙන් ආර්ථිකයට ඉන් ඇති වන බලපෑම ගැන කිව යුතුම නොවේ.

සහාධිපත්‍යය දේපොළ කර්මාන්තය සඳහා දැනට අවස්ථා තුනකදී බදු අය කෙරේ. ඒ අනුව දැනට සෑම සහාධිපත්‍යය දේපොළකින් ලැබෙන ආදායමෙන් 50%කට වැඩි ප්‍රමාණයක් බදු සඳහා වැය වේ. තවද මේ වනවිට රජයේ ප්‍රයත්නය අත්තිකාරම් මුදල් ගෙවා දැනට භාර දීමට නියමිත හා දැනට සංවර්ධනය වෙමින් පවතින ව්‍යාපෘති සඳහා වැට් බද්දක් අය කිරීමටයි. මෙයින් සිදුවන්නේ බදු ගණනය කිරීම සංකීර්ණ වනවා සේම බදු ක්‍රියාවලිය අඩපණ වී රජය බලාපොරොත්තු වන ආදායමද අහිමි වීමකි. තවද ඉදි කිරීම් මග නැවතී නටබුන් වූ ව්‍යාපෘති රැසක් පමණක් ඉතිරි වන තත්ත්වයකට පත් වීම එහි දිගු කාලීන බලපෑමයි.

විදේශ විනිමය විශාල වශයෙන් උපයන සහාධිපත්‍යය දේපොළ කර්මාන්තයට මෙසේ බදු වැඩි කිරීම රටටත් ආර්ථිකයටත් සිදු කරන බලවත් අසාධාරණයකි. ශ්‍රී ලංකා සහාධිපත්‍යය දේපොළ සංවර්ධකයින්ගේ සංගමය විසින් රජයෙන් ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ කර්මාන්තය කාබාසිනියා කරන බදු දැමීමෙන් කර්මාන්තයට තවත් බර නොදෙන ලෙසයි. මෙසේ අසාධාරණ ලෙස බදු පැනවුවහොත් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ සහාධිපත්‍යය දේපොළ කර්මාන්තය විනාශයට පත්වනවා නොඅනුමානය.

Hits: 94