රිචර්ඩ් පීරිස් ප්ලාන්ටේෂන්ස් නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි කොටස්හිමිකාරිත්වය ඉහළ නංවා ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම (NAMU.N0000) තුළ ඇති සිය කොටස් හිමිකාරීත්වය 67.51%ක් දක්වා ඉහළ නංවා ගැනීමට රිචර්ඩ් පීරිස් සහ සමාගමට අයත් RPC Plantation Management Services (පෞද්) සමාගම කටයුතු යොදා ඇතැයි පවසයි.

ඊයේ (ජූනි 23දා) එම සමාගම මගින් නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි කොටස් 7,968ක් මිලදී ගනිමින් මෙලෙස කොටස් හිමිකාරීත්වය ඉහළ නංවා ගෙන තිබේ. මෙහිදී කොටසක් රුපියල් 312ත් 320ත් අතර මුදලකට මිලදී ගැනීමට RPC Plantation Management Services සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම මිලදී ගැනිමත් සමගින්ම RPC Plantation Management Services සමාගම සතු නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ සමස්ත කොටස් හිමිකාරීත්වය කොටස් 16,034,529ක් දක්වා ඉහළ නැග තිබෙන අතර එය සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් ප්‍රතිශතයක් ලෙස 67.51%කි.

මේ වසරේ මාර්තු 31 වැනිදා වන විට නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි විශාලතම කොටස්හිමිකරුවා ලෙස RPC Plantation Management Services සමාගම සතුව කොටස් 16,026,561ක් එනම් 67.48%ක හිමිකාරීත්වයක් පැවතුණි.

මේ අතර, අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 335.25ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති රුපියල් 314.00ක වටිනාකමට සාපේක්ෂව රුපියල් 21.25ක් එනම් 6.77%ක ඉහළ යාමකි.

රිචර්ඩ් පීරිස් සහ සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන RPC Plantation Management Services (පෞද්) සමාගම සතුව නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට අමතරව කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහිද (KGAL.N0000) වැඩි කොටස් හිමිකාරීත්වයක් හිමිය.

Visits: 187