ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම අද (21දා) නොවේලු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (21දා) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතව සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ එම දිවුරුම් දීම සිදු නොවන බව වාර්තාවෙයි. ඒ මහතා විසින් ඊයේ ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතා මෙලෙස දිවුරුම්දීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳව අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමක් සිදු නොකරන බව ධම්මික පෙරේරා මහතා මෙලෙස ශේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී ඇත.

මෙම පෙත්සමේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයටකට පත් කර ඇති බවට ප්‍රකාශ කර ඇති විශේෂ ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කෙරී ඇත.

Views: 100