JKH වෙත කැනඩාවෙන් ඩොලර් මිලියන 75ක ඍජු විදේශ ආයෝජනයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමුහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක ඍජු විදේශ ආයෝජනයක් හිමිවීමට නියමිතව ඇතැයි එම සමාගම අනාවරණය කරයි.

එම සමාගම මගින් නිකුත් කරන ලැයිස්තුගත නොවූ, ආපසු හැරවිය හැකි ණයකර නිකුතුවක් ලෙස සිදු කරන ණයකර කොටස් නිකුතුවක් හරහා මෙම ඍජු විදේශ ආයෝජනය ආකර්ෂණය සැලසුම වී තිබේ. මෙම නිකුතුව සඳහා වන වාර්ෂික පොලී අනුපාතය 3෴ක් ලෙස ගණන් බලා ඇත. ඒ අනුව මෙය යෝජිත පෞද්ගලික මිලදී ගැනීමක් ලෙස හැඳින්වෙයි.

මෙහිදී කැනඩාවේ මූලස්ථානය කරගත් ෆෙයාර්ෆැක්ස් ෆයිනෑන්ෂියල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම මගින් මෙම ආයෝජනය සිදු කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව ඊයේ (20දා) දිනයේ දී මහ බැංකුව මගින් නිකුත් කරන ලද විදේශ විනිමය අනුපාතයට අනුව (එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 360.75ක් ලෙස) මෙම ආයෝජනයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 27.06 ක් ලෙස ගණන් බලා තිබේ.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම යෝජනා කර ඇති ආකාරයට මෙහිදී නිකුත් කෙරෙන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව 208,125,000 කි. එහිදී එක් ණයකර  කොටසක් රුපියල් 130.00ක් බැගින් මිල කෙරී ඇත.

එසේම මෙම නිකුත් කරන සෑම ණයකර නිකුතුවක්ම සමාගම මගින් නිකුත් කෙරෙන එක් අලුත් ලැයිස්තුගත සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් ලෙස හුවමාරු කළ හැකි බවත් සමාගම පවසයි. ඒ අනුව මෙම නිකුත් කරන සෑම ණයකර නිකුතුවක්ම එලෙස සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් ලෙස හුවමාරු කළේ නම් සමාගමට එක්වන සමස්ත සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 208,125,‍000කි.

මෙලෙස ණයකර නිකුතුවක් හරහා සිදු කරන ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය මගින් මූලිකවම සමාගමේ ආයෝජන සහ මූල්‍යමය බැඳීම් සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් යොදා ගන්නා බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි. විශේෂයෙන්ම කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය වැනි ආයෝජන සඳහා අවශ්‍ය විදේශ මුදල් අවශ්‍යතාවන් වෙනුවෙන් මෙම ආයෝජනය ලබා ගන්නා බවත් සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම යෝජිත පෞද්ගලික කොටස් මිලදී ගැනීමේ අවස්ථාව කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩි දුරටත් සඳහන් කර සිටියි. එසේම ඒ සම්බන්ධයෙන් වන කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද ඉදිරියේදී පැවැත්වෙන අතිවිශේෂ මහා සභා රැස්වීමකදී විශේෂිත යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලබා ගැනීමටද බලාපොරොත්තු වන බවත් සමාගම සඳහන් කරයි.

Visits: 240