පැන්ඩෝරා පේපර්ස් දත්ත යටතේ අවසන් තොරතුරු තොගය ළගදීම ප්‍රසිද්ධියට

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (ICIJ) මගින් පසුගිය වසරේදී එළිදරව් කරන ලද සුප්‍රසිද්ධ ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණය යටතේ ඇති අවසන් දත්ත තොගය ළගදීම ප්‍රසිද්ධියට පත් කරන බව එම එකමුතුව නිවේදනය කර සිටියි.

ඒ අනුව ලොව පුද්ගලයන් සහ සමාගම් බදු නිදහස්වීම් සඳහා භාවිතා කරන ලොව ක්‍රියාත්මක අක්වෙරළ සේවා සම්පාදකයන්ට අයත් අක්වෙරළ සමාගම්, පදනම් සහ අරමුදල් 9,000කට අධික සංඛ්‍යාවක දත්ත එළිදරව් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වෙයි.

“ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් සිය අක්වෙරළ දත්ත හෙළිදරව් (පැන්ඩෝරා පේපර්ස්, පැරඩයිස් පේපර්ස් සහ පැනමා පේපර්ස්) යටතේ ඇති පැන්ඩොර් පේපර්ස් හරහා සිදු කළ ආනාවරණයට අමතරව නවතම තොරතුරු හෙළිදරව්වක් සිදු කිරීමට සූදානමින් සිටිනවා. එතැනදී මෙම වංචාවන් සිදු කිරීම සඳහා පහසුකම් සැලසූ අක්වෙරළ සමාගම්, අරමුදල් සහ පදනම් 9,000කට වඩා වැඩි ප්‍රමාණයක හිමිකරුවන්, කොටස්කරුවන්, අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් මාදිලියේ නිලධාරීන් පිළිබඳව අනාවරණය සිදු කෙරෙනවා.” යනුවෙන් එහි සඳහන්ව තිබේ.

ICIJ සඳහන් කරන ආකාරයට මෙහිදී හොංකොං, බෙලිසේ, බ්‍රිටිෂ් වර්ජින් දූපත්, පැනමාව, ස්විස්ටර්ලන්තය සහ ඩුබායිහි සිය මූලස්ථානය කරගත් අක්වෙරළ සේවා සම්පාදකයන් හතකට අයත් නව දත්ත හෙළිදරව් කිරීමට නියමිතව ඇත.

මෙම සමාගම් වන්නේ Asiaciti Trust Asia Limited, CILTrust International, Commence Overseas Limited, IlShin, Overseas Management Company Inc, SFM Corporate Services and Trident Trust Company Limited  යන සමාගම්ය.

“වර්තමාන සහ හිටපු රාජ්‍ය නායකයන් 16 දෙනෙකු මෙම අක්වෙරළ සමාගම් සමගින් සම්බන්ධවී මෙවැනි සේපා සම්පාදකයන්ගෙන් සේවා ලබා ගෙන තිබනෙවා.” ICIJ සඳහන් කරයි.

මේ දක්වා මෙවැනි අක්වෙරළ සමාගම්හි මුදල් තැන්පත් කළ ලොව පුද්ගලයන් සහ සමාගම් පිළිබඳව අනාවරණය කළද, මෙම අවස්ථාවේදී එම සේවා සම්පාදනය සිදු කරන සමාගම් පිළිබඳව අනාවරණය කිරීම සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයිද එම එකමුතුව පෙන්වා දෙයි. කෙසේ වෙතත් පෙර අවස්ථාවලදී මෙන් මෙවරද සමාගම් හා සම්බන්ධ පිරිසගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව්වක් සිදු නොකරන බවත් ඔවුන් පවසයි.

“මෙතැනදී එම අක්වෙරළ සමාගම්වල හිමිකරුවන්, නියෝජිතයන්, අතරමැදියන් ඇතුළු පිරිසගේ තොරතුරු අනාවරණය කෙරෙනවා. නමුත් ඔවුන්ගේ පෞද්ගලික සබඳතා තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු, ගමන් බලපත්‍ර සහ වෙනත් හඳුනාගත හැකි ලියකියවිලි කිසිවක් එළිදක්වන්නේ නෑ.”  ICIJ වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 144