දේශාල් ඩි මෙල් ජනශක්ති ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

ජනශක්ති සමූහයට අයත් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ දේශාල් ඩි මෙල් මහතා එම ධුරයෙන් ඉවත්වූ බව එම සමාගම පවසයි.

ඒ අනුව 2022 මැයි 04 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්විම සිදුව තිබේ.

ඒ මහතා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්වීම් ලැබුවේ 2021 වසරේ අප්‍රේල් 15 වැනිදාය.

ඒ අනුව වසරකුත් දින 20ක පමණ කාලයකට පසුව ඒ මහතා එම ධුරයෙන් ඉවත්ව තිබේ. මෙම ඉවත්විම සිදුවන අවස්ථාව වන විට ඒ මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

තරුණ ආර්ථිකවිද්‍යාඥයෙකු ලෙස ප්‍රචලිතව සිටින දේශාල් ඩි මෙල් මහතා සතුව රජයේ සහ පෞද්ගලික අංශයේ මෙන්ම ශාස්ත්‍රීය අංශය තුළද අත්දැකීම් රැසක් පවතී.

මීට පෙර ඔහු හිටපු මුදල් ඇමතිවරයෙකු වූ මංගල සමරවීර මහතා යටතේ ඔහුගේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය. ඊට පෙරාතුව ඔහු හේලීස් සමූහයේ ජ්‍යෙෂ්ට ආර්ථික විද්‍යාඥයාද විය. එසේම ඔහු මේ වනවිට වෙරිටේ රිසර්ච් හි පර්යේෂණ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

මීට අමතරව 2018/2019 වසර කාලය තුළ ඔහු සුරැකුම්පත් හා විනිමිය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළේය.

දේශාල් ඩි මෙල් මහතා මේ වනවිට සම්පත් බැංකුවෙහි, කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ මෙන්ම ටීඑන්එල් රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගම යන සමාගම්හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

2019 වසරේ දී ලෝක ආර්ථික හමුව මගින් දේශාල් ඩි මෙල් මහතා ‘තරුණ ගෝලීය නායකයා‘  ලෙස පිදුම් ලැබුවේය.

Visits: 76