CDB තුළ ඒෂියා මැනේජ්මන්ට් කන්සල්ටන්සි සතු කොටස් ප්‍රතිශතය 10% ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි (CDB.N0000) කොටස් අතරින් 10%කට වැඩි කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට ඒෂියා මැනේජ්මන්ට් කන්සල්ටන්සි (පෞද්) සමාගම සමත්ව ඇතැයි පවසයි.

පසුගිය අප්‍රේල් 27 දිනයේ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී මෙම හිමිකාරීත්වය පසු කිරීමට එම සමාගම සමත්ව තිබේ.

2022 මාර්තු 31 වැනිදා වනවිට ඒෂියා මැනේජ්මන්ට් කන්සල්ටන්සි (පෞද්) සමාගම සතුව තිබූ CDB සමාගමේ කොටස් ප්‍රතිශතය 9.94%ක් විය.

මෙහිදී එම සමාගම තනිවම හිමි කරගෙන ඇති කොටස් ප්‍රමාණයකට අමතරව, කාර්ගිල්ස් බැංකුව සහ නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව සමගින් ඒකාබද්ධව එම කොටස් හිමිකරගෙන තිබෙන බව 2021 දෙසැම්බර් 31දා වන විට නිකුත් කෙරුණු කොටස් හිමිකරුවන්ගේ ලැයිස්තුවේ සඳහන්ව තිබේ.

එම සටහනට අනුව CDB හි විශාලතම කොටස් හිමිකරුවා වන්නේ සෙලින්කෝ ජීවිත රක්ෂණ සමාගමයි. එය කොටස් 19,120,225ක් වන අතර 32.16%ක ප්‍රතිශතයකි. එසේම ජනශක්ති රක්ෂණ සමාගමේ කොටස් හිමිකරුවන් දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන අතර එය කොටස් 6,022,308ක් එනම් 10.13%ක ප්‍රතිශතයක් විය.

තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන ඒෂියා මැනේජ්මන්ට් කන්සල්ටන්සි (පෞද්) සමාගම සතුව කොටස් 3,101,347ක් එනම් 5.22%ක ප්‍රතිශතයක් විය. ඊට අමතරව කාර්ගිල්ස් බැංකුව සමගින් කොටස් 2,444,169ක් එනම් 4.11%ක ප්‍රතිශතයක්ද, එන්ඩීබීබැංකුව සමගින් කොටස් 325,000ක් එනම් 0.50%ක ප්‍රතිශතයක්ද එම අවස්ථාවේදී ඒෂියා මැනේජ්මන්ට් කන්සල්ටන්සි (පෞද්) සමාගම සතුව තිබුණි.

Views: 131