මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දැමීමෙන් ආර්ථිකයට සිදු වන්නේ කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ පත්වීමෙන් අනතුරුව පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය ලෙස පසුගියදා ඉදිරිපත් කෙරුණු, 2022 වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාත කැපී පෙනෙන ලෙස ඉහළ දැමීමක් සිදුවිය.

මේ හරහා සිය මුදල් ස්ථාවරය දැඩි කිරීම සිදුවන බවත්, ඒ සමගින් ඉහළ යමින් පවතින උද්ධමනය පාලනය කිරීම සැලසුම බවත් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මහ බැංකුවෙහි මෙම ප්‍රතිපත්ති පොළී අනුපාතික 7%කින් ඉහළ දැමීමේ තීරණය රටෙහි ඉදිරි ආර්ථික කටයුතු පිළිබඳව කෙසේ බලපෑම් කරනු ඇතැයි සම්බන්ධයෙන් ‘ඉකෙනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ අප වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගෙන් සිදුකළ කරුණු විමසීමකට ඒ මහතා ලබා දුන් අදහසයි.

“මහ බැංකුව මගින් සිදු කළ නිත්‍ය තැන්පතු පොළී අනුපාතිකය සහ නිත්‍ය ණය පොළී අනුපාතිකය පිළිවෙලින් 13.50%ක් ලෙස සහ 14.50%ක් ලෙස වෙනස් කිරීමෙන් සිදුවන්නේ, යම් කිසි බැංකුව පවතින අතිරික්ත මුදල් ප්‍රමාණයක් මහ බැංකුව මගින් 13.50%ක පොළියකට මිලදී ගැනීම සහ මොනයම් හෝ අවස්ථාවකදී එම බැංකුවට තාවකාලික මුදල් අවශ්‍ය වුවහොත් 14.50%ක පොළියකට එම මුදල් බැංකුව වෙත ලබා දීමයි.

මෙවැනි ක්‍රියාමාර්ගයක් හරහා සිදු වෙන්නේ වෙළෙඳ පොලේ පවතින අධික ද්‍රවශීලතාව යම් ආකාරයකින් අඩු කිරීමයි. මේ හරහා යම් කිසි ආකාරයකින් උද්ධමනය පාලනය කරන්න පුළුවන් කියන අදහසක් ආර්ථික විද්‍යාවේ සඳහන් වෙනවා. මොකද පොළී අනුපාතික ඉහළ දැමීම හරහා ජනතාව තැන්පත් කිරීම් වෙත යොමුවීමෙන් මුදල් සංසරණයේ යම් දුබල කිරිමක් හරහා උද්ධමනය පාලනය කරන්න පුළුවන්.

මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනය පාලනය කරගන්න බැරි මට්ටමක තිබෙන්නේ. එය 17%ක 19%ක සීමාවකට ඇවිල්ලා. හැබැයි අද රට තුළ ඇතිවෙලා තිබෙන මේ උද්ධමනය ඉල්ලුම මත ඇති වූ උද්ධමනයක් නෙමෙයි. ඒ කියන්නේ ඉල්ලුම අධෛර්යමත් කළා කියලා ඉන් විශාලව මේ උද්ධමනය පාලනය වීමක් වෙන්නේ නෑ.

මොකද මේ උද්ධමනය ඇතිවෙලා තිබෙන්නේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වීම එහෙමත් නැත්නම් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අධිප්‍රමාණය වීමත් සමගයි. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල නම්‍යශීලීව පා කිරීමට තීරණය කළාට පස්සේ ඩොලරයේ වටිනාකම රුපියලට සාපේක්ෂව දළ වශයෙන් 58%කින් ඉහළ ගිහින් තිබෙනවා. එහෙමත් නැත්නම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම 58%කින් ක්ෂය වෙලා.

මෙය සරලවලම තේරුම් ගන්න පුළුවන් අපි පිටරටින් කිරිපිටි පැකට් එකක් ගෙනාවත්, සිමෙන්ති කොට්ටයක් ගෙනාවත් ඒ සියලුම භාණ්ඩවල මිල 58%කින් ඉහළ යනවා කියන දේ. හැබැයි මේ මිල ඉහළ යාමට රට තුළදී මෙම භාණ්ඩ පාරිභෝගිකයා අතට රැගෙන යාම දක්වා වන ක්‍රියාවලියට අදාළ ප්‍රවාහන ඇතුළු සේවා සඳහා වන ගාස්තු එකතු වෙනවා. මොකද වෙළෙන්දන් බලන්නේ තමන්ට මේ භාණ්ඩ ගෙන එන්න ගිය ඩොලර් වියදම පාරිභෝගිකයාගෙන් අය කරන්න.

පසුගියදාක ඇමෙරිකානු ආයතනයක් පෙන්වා දුන්නා ශ්‍රී ලංකාවේ උද්ධමනය 55%යි. එය ලෝකයේ හයවැනි වැඩිම උද්ධමනය කියලා. හැබැයි මේ වියදම් එකතුවත් එක්කම මේ උද්ධමනය  දළ වශයෙන් 60%ක 65%ක උද්ධමනයක් රට තුළ පවතිනවා.

ඒ වගේම දැනට මේ වෙළෙඳ පොළට එන්නේ ඩොලරය රුපියල් 200ට – 225ට  තිබුනු කාලේ ගෙනාපු භාණ්ඩ. දැන් ඩොලරය 300ට 320ට ගෙනාපු භාණ්ඩ වෙළෙද පොළට එන්නේ අවුරුද්දෙන් පස්සේ. එතකොට අනිවාර්යයෙන්ම ආනයනකරුවන් මේ පාඩුව දරන්නේ නෑ. ඉන්ධන මිල ඉහළ යනවා. කිරි පිටි මිල ඉහළ යනවා. ඒ උද්ධමනය වැඩි වීම ඉල්ලුම මත තියෙන කාරණාවක් නෙමෙයි.

ඒ අනුව මේ උද්ධමනය පාලනය කිරීමට රජයට කරන්න තිබුණේ පොළී අනුපාත ඉහළ දැමිමට වඩා දේශීය වෙළෙ පොළෙන් ගන්න ණය ප්‍රමාණය අඩු කිරිමයි. සරලවම කිව්වොත් මුදල් මුද්‍රණය කිරීම සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනේ. මුදල් මුද්‍රණය කරන තාක්කල් මොන පොළී අනුපාතය ගැලපුවත් මේ උද්ධමනය ලේසියෙන් පාලනය කරන්න බැහැ.

හැබැයි මේ තීරණයේ යහපත් කාරණාව වෙන්නේ පෙරට වඩා වැඩියෙන් තැන්පතු සදහා ජනතාව යොමු වීම. උදාහරණයක් විදියට ගත්තොත් මහ බැංකුව පවසන විදියට දැන් උද්දමනය 17.50%ක් නම්, තැන්පතු පොළී අනුපාතය 7.50%ක් නම්, ජනතාව වසරක් සඳහා සිය මුදල් මේ පොළියට තැන්පත් කරද්දී බඩු මිල 17.50%කින් ඉහළ ගිහින්. ඒ කියන්නේ අපේ මූර්ත පොළිය අද වෙන කොට ඍණ (7.50% – 17.50 = -10%) වෙලා තිබෙනවා. ජනතාවට මෙය තේරුම් ගියොත් ඔවුන් ඉතුරු කිරීමෙන් ඈත් වෙනවා.

මේ විදියට කල්පනා කරලා ජනතාව බැංකු වල මුදල් තැන්පත් කිරීම නවත්වලා, දැනට තියෙන තැන්පතු ඉවත් කරගැනීමක් සිදු වුණොත් බැංකු පද්ධතියම කඩා වැටෙන්න තිබුණා. එය රටට විශාල හානියක්. ඒ නිසා බැංකුවල පොළී අනුපාත ඉහළ දැමීම මේ වෙලාවේ වටිනවා. එය මේ තැන්පතු රැක ගන්න බලපැමක් වෙන්න පුළුවන්.

හැබැයි මෙය අනික් පැත්තෙන් බැලුවහම නිෂ්පාදකයා වෙත බලපෑමක් එල්ල වන අවස්ථාවක්. මොකද බැංකුවකින් ණයක් ගන්න ගියොත් දැන් අධික පොළියකට තමයි ඒ ණය ගන්න වෙන්නේ. එතකොට නිෂ්පාදකයන් අධෛර්යමත් වෙනවා.

මේ නිසා තමයි අපි කාලයක් තිස්සේ කියන්නේ මේ බැංකු පොළී අනුපාත ගලපද්දී එය හොඳින් ක්‍රියාත්මක කරන්න නම් සාමාන්‍ය බැංකු සහ සංවර්ධන බැංකු කියලා දෙකක් රටෙහි තියෙන්න ඕන කියන දේ.

කලින් තිබුණා NDB කියලා සංවර්ධන බැංකුවක්. අද එයත් පෞද්ගලිකකරණය කරලා වාණිජ බැංකුවක මට්ටමට පත්වෙලා. හැබැයි මේ විදියට රජය යටතේ සංවර්ධන බැංකු තිබුණා නම් පොළී ඉහළ ගියත් අඩු පොළියට ව්‍යාපාරිකයන්ට නිෂ්පාදකයන්ට ණය දෙන්න අවස්ථාවක් තිබුණා. සාමාන්‍ය බැංකුවලින් පුළුවන් මහජනතාවට අවශ්‍ය සාමාන්‍ය මුදල් කටයුතු කරන්න.

ඒ නිසා මේ විදියට පොළී අනුපාත ඉහළ දැමීම හරහා ජනතාවට වාසි සහගත වුණාට එය ව්‍යාපාරිකයන්ට අවාසියි. මොකද මේ වෙලාවේ ව්‍යාපාරිකයෝ වැටුණොත් එය දරුණු ප්‍රශ්නයක්. මොකද ව්‍යාපාරිකයෝ දැනටමත් ඉන්ධන විදුලිය නොමැතිව විශාල පීඩනයක ඉන්නේ. මේ අතරේදී පොළී අනුපාතත් ඉහළ යනවා කියන්නේ ඔවුන් කඩා වැටෙනවා. ඒ නිසා මෙය ඉතාමත් සීරුවෙන් කරන්න ඕන දෙයක්.

රටක පොළී අනුපාත, විදේශ මුදල් අනුපාත සහ උද්ධමනය කියන්නේ එකිනෙකට සම්බන්ධ කාරණා තුනක්. හරියට ලිප්ගල් තුන වගේ. අපිට මෙය වචන තුනක් වුණාට, රටක ආර්ථිකය දැඩි ලෙස තීරණය කරන කාරණා තුනක් මේ තුන. රජය කෘත්‍රිමව මේ දේවල් තීරණය කරන කොට ගැටලු වැඩියි. උදාහරණයක් විදියට විදේශ විනිමය අනුපාතය වෙළෙඳ පොළේ පවතින අගය නෙමෙයි.

හැබැයි දැනට රට තුළ පවතින අර්බුදයට රජය හැටියට ගන්න පුළුවන් ළගම විසඳුම තමයි මේ අරගෙන තිබෙන්නේ. එය අලුත් මහ බැංකු අධිපතිවරයාගේ නිර්දේශපාලනික තත්ත්වය පෙන්නුම් කරන හොඳ අවස්ථාවක්.

අපි අවසන් වශයෙන් බලන්න ඕනේ ඇයි හිටපු මහ බැංකු අධිපතිවරයාට මේ තීරණය ගන්න බැරි වුනේ කියලා. ඔහු මහ බැංකු අධිපතිවරයා වුණාට ඔහු දේශපාලනිකව සිදු කෙරුණු පත් කිරීමක්. නන්දලාල් වීරසිංහ කියන්නේ අවුරුදු ගානක් මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබුණු කෙනෙක්. කබ්රාල්ට බැංකුව හැදීමක් ගැනවත්, රට හැදීමක් ගැනවත් අදහසක් තිබුණේ නෑ. එයාට තිබුණේ වෙන බලාපොරොත්තු ගොඩක්. එයා බය වුණා පොලිය වැඩිවීම දේහපාලනිකව ගැටලුවක්. ඒ නිසා එය පොළී වැඩි කරන්න දුන්නේ නෑ.

ඒ වගේම දැන් මේ තීරණය අරගෙනත් තියෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයයි. කබ්රාල් අධිපතිවරයා විදියට ඉදිද්දී හිටියෙත් මේ මුදල් මණ්ඩලයමයි. මෙච්චර කල් මේ කණ්ඩායම වැඩ කළේ කොහොමද කියන දේත් අපිට ගැටලුවක් වෙනවා.

ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට පෙර මේ ගැලපීම් ටික රජය කරන්න සිද්ධ වෙනවා. මොකද ඇතැම් කොන්දේසි තිබෙනවා අපි යන්න කලින් සිදු කළ යුතුව තිබෙන. ඒ අතින් ගත්තොත් මෙය වාසි සහගත අවස්ථාවක්.

පොදුවේ ගත්තොත් මේ ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දැමීමේ තීරණය රටටයි, ආර්ථිකයටයි හොඳයි. ගැටලුව වෙන්නේ ව්‍යවසායකයන්ට සහ නිෂ්පාදකයන්ට යම් බලපෑමක් සිද්ධ විමයි. එය මඟහැරවීමට ඉදිරියේදීවත් සංවර්ධන බැංකුවක් රට තුළ ස්ථාපිත කිරිමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.“

Hits: 587