ඉතිරි වූ මුදල් මණ්ඩල සාමාජිකයන් දෙදෙනා ගැන මහ බැංකු අධිපති විශ්වාසය තහවුරු කරයි

මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරන ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රාණි ජයමහ යන මහත්ම මහත්මීන් එම මණ්ඩලය වෙත තවදුරටත් සේවය කිරීමට තීරණය කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

2020 වසරේ ජුලි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔවුන් මෙලෙස එම මණ්ඩලය සඳහා පත් කෙරිණි. මෙහිදී ඔවුන් දෙදෙනාට අමතරව තෙවැනි සාමාජිකයා ලෙස පත් කෙරුණු සමන්ත කුමාරසිංහ මහතා මේ වසරේ අප්‍රේල් මාසය ආරම්භයේදීම සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

පසුගිය කාලසීමාවේදී මෙම මුදල් මණ්ඩල සාමාජිකයන් සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ලවූ අතර, ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා එම සාමාජිකයන් ඉවත්විය යුතු බවට අදහස් දක්වා තිබුණි. එහිදී මෙම සාමාජිකයන්ද එම ධුරවලින් ඉවත්විමට සූදානමින් සිටින බවට රාවයක් පසුගිය දිනවලදී මතුවිය.

ඒ අනුව තමන් ඔවුන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත්වන බවත් මහ බැංකු අධිපතිවරයා අද දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා, ඔවුන් පෙර සිටම මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීයමය භාවය ආරක්ෂා කරගනිමින් ක්‍රියා කර ඇති බවත්, මහ බැංකුවෙහි සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇතිබවත් පෙන්වා දී සිටියි.

ඒ අනුව ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳව පූර්ණ විශ්වාසයක් තමා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත් මහ බැංකුව අධිපතිවරයා ලෙස තමාටත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ මහ බැංකු අදිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ (සභාපති), මුදල් අමාත්‍යාංශයේ (මහා භාණ්ඩාගාරයේ) ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, පත් කළ සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රානි ජයමහ යන මහත්ම මහත්මීන්ය.

එහෙත් සමන්ත කුමාරසිංහ මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ සාමාජිකත්වය සඳහා මෙතෙක් කිසිවෙකුත් පත් කර නැත.

Visits: 392