Luminex Limited මූලික මහජන කොටස් නිකුතුව අප්‍රේල් 26 වැනිදා

මෙරට තුළ දුරකතන සන්නිවේදන, විදුලි ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සහ ජල සහ අපජල ප්‍රවාහනපද්ධති ඉදිකිරීම යන අංශයන්හි සේවා සම්පාදකයෙකු වන Luminex Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලීම අනුමැත වී ඇතැයි පවසයි.

ඒ අනුව ඉදිරියේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවෙහි ලැයිස්තුගතවිමට සූදානමින් සිටින බව සඳහන් කරයි.

මෙහිදී ඊට අදාළව සමාගම මගින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති මූලික මහජන කොටස් නිකුතුව (IPO) ලබන අප්‍රේල් 26 වැනිදා විවෘත කෙරෙන බවද කොළඹ කොටස් හුවමාරුව ඊයේ සියලුම ගනුදෙනු සමාගම් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව Luminex Limited සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 31.2ක් (31,250,000ක්) නිකුත් කිරිමට සැලසුම් කර ඇති අතර, කොටසක වටිනාකම රුපියල් 8ක් ලෙස සඳහන් කර තිබේ. මෙම නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල්මිලියන 250ක් (250,000,000ක්) ලෙස ගණන් බලා ඇත.

මෙම මූලික කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් සහ මූල්‍ය උපදේශකවරුන් ලෙස නවරා කැපිටල් ලිමිටඩ් සමාගම ක්‍රියා කරයි.

Luminex Limited සමාගමේ මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කිරිම හෙට (අප්‍රේල් 07) වැනිදා සිදු කරන බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කර තිබේ.

Views: 304