කොමර්ෂල් බැංකුව සිංගප්පූරුව තුළ අරමුදල් කළමනාකරණ සමාගමක් පිහිටුවීමට යයි

මෙරට විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව ලෙස සැලකෙන කොමර්ෂල් බැංකුව ඉදිරියේදී සිංගප්පූරුව තුළ සිය අරමුදල් කළමනාකරණ සමාගමක් පිහිටුවීම සඳහා සැලසුම් කරමින් සිටින බව පවසයි. සිය පරිපාලිත සමාගමක් ලෙස එය පිහිටුවන බව සමාගම සඳහන් කරයි.

ඒ අනුව ඊට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් අනුමැතිය හිමිව තිබෙන බව බැංකුව පවසයි. අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් යොමු කරමින් බැංකුව මේ පිළිබඳව දැනුම් දීම සිදු කර තිබේ.

“බැංකු පනතේ අංක 17(1) දරන වගන්තිය යටතේ මෙම අරමුදල් කළමනාකරණ සමාගම පිහිටුවීම සඳහා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් කොමර්ෂල් බැංකුව වෙත අනුමැතිය ලබා දී තිබෙනවා.” යනුවෙන් එහි සඳහන්ව තිබේ.

මේ අතර අදාළ සමාගම පිහිටුවීමේදී සැපිරිය යුතු විදේශ විනිමය පනතට අදාළ කරුණු කිහිපයක් වෙත අනුකූලතාව දැක්වීමක් සිදුකළ යුතුව තිබෙන බවත් කොමර්ෂල් බැංකුව මෙහිදී වැඩිදුරටත් පවසා සිටියි.

කොමර්ෂල් බැංකුව සිය විදේශීය මෙහෙයුම් යටතේ මේ වනවිට බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය තුළ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යයි.

Views: 257